දුශාන්ගේ තුන් ඉරියව් දස්කම් නිසා Mode ඉංජිනියරින්ට පෙරළිකාර ජයක්

29වන සිංගර් වෙළඳසේවා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1144

සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහ වෙළඳසේවා ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 29 වැනි සිංගර්-වෙළඳසේවා (MCA) ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (3) ක්‍රියාත්මක වුනා.

ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබා ගැනීමට Mode ඉංජිනියරින් සමත් වුනා.

Mode ඉංජිනියරින් සහ ජෝන් කීල්ස් – A අතර ඊයේ (2) පැවැත්වීමට නියමිතව තිබූ මේ තරගය අද දිනය දක්වා කල් දැමුණේ අයහපත් කාලගුණ තත්වය නිසා ක්‍රීඩා පිටියේ තණතිල්ල තෙත බරිතව තිබූ නිසයි.

නවක කණ්ඩායමක් ලෙස මේ තරගාවලිය සඳහා එක්වන Mode ඉංජිනියරින් කණ්ඩායම් නායක ඉසුරු උදාන කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ඉශාන් ජයරත්නගේ නායකත්වයෙන් යුත් ජෝන් කීල්ස් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 233ක් ලබා ගත්තා.

ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වූ නවෝද් පරණවිතාන (4 පහර 4ක් සමඟ ලකුණු 45) සහ සදීර සමරවික්‍රම (4 පහර 3ක් සමඟ ලකුණු 79) පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 96ක සාර්ථක සබඳතාවය ජෝන් කීල්ස් ලකුණු සටහනට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

කෙසේ නමුත් ඉන් අනතුරුව ඔවුන්ගේ මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් හට විශාල ලකුණු ප්‍රමාණයක් වෙත යාමට හැකියාවක් නොලැබුණු අතර අහන් වික්‍රමසිංහ ලකුණු 29ක් ලබාගෙන ජෝන් කීල්ස් මැදපෙළට යම් සහනයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් ප්‍රියනාත් සහ පා දඟපන්දු යවන ක්‍රීඩක දුශාන් හේමන්ත පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවා ගනිමින් Mode ඉංජිනියරින් වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූවා.

ලකුණු 234ක ඉලක්කයක් හඹා ගිය Mode ඉංජිනියරින් පළමු කඩුලු 3 ලකුණු 36ක් තුල දවාලීමට දකුණතින් වේගපන්දු යවන මලිඳු ශෙහාන් සමත් වුනා. ඉන් අනතුරුව ඩිලාන් ජයලත් (4 සහ 6 පහර 2 බැඟින් ලකුණු 54) සමඟ එක්වුණු සම්මු අශාන් සහ දුශාන් (ලකුණු 77) සිව්වැනි සහ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 37ක සහ ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවමින් තරගය පිළිබඳව Mode ඉංජිනියරින් කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ලබා දුන්නා.

පන්දු 88ක් තුල වාර්තා වුනු දුශාන්ගේ ඉනිම 4 පහරකින් සහ 6 පහර 3කින් වර්ණවත් වුනු අතර දුශාන් සහ නායක උදාන එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක් තුල වේගවත් ලකුණු 44ක සබඳතාවයක් ගොඩනැංවීම කැපී පෙනුණා.

අවසානයේ දී උදාන 4 පහරක් සහ 6 පහර 3ක් එල්ල කරමින් පන්දු 31ක් තුල නොදැවී ලකුණු 37*ක් ලබාගෙන සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. එය Mode ඉංජිනියරින් ලබා ගත් පළමු ජයග්‍රහණය වන අතර ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගය CDB හමුවේ ලකුණු 105කින් පරාජයට පත් වුනා.

ජෝන් කීල්ස් – 233/9 (50): සදීර සමරවික්‍රම 79, නවෝද් පරණවිතාන 45, අහන් වික්‍රමසිංහ 29, සචිත ජයතිලක 23, මිලාන් ප්‍රියනාත් 4/52, දුශාන් හේමන්ත 3/49.

Mode ඉංජිනියරින් – 234/8 (48.3): දුශාන් හේමන්ත 77, ඩිලාන් ජයලත් 54, ඉසුරු උදාන 37*, මලිඳු ශෙහාන් 3/24, ශෂික දුල්ශාන් 2/44, අකිල දනංජය 2/49.

Mode ඉංජිනියරින් කණ්ඩායමට කඩුලු 2ක ජයක්

මේ තරගාවලියේ මූලික වටයේ තවත් තරග තුනක් මේ මස 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<