චතුරංග ද සිල්වාගෙන් කැපී පෙනෙන තුන් ඉරියව් දක්ෂතා

29වන සිංගර් වෙළඳසේවා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2206

සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහ වෙළඳසේවා ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 29 වැනි සිංගර්-වෙළඳසේවා (MCA) ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (2) ක්‍රියාත්මක වුනා.

අද පැවති තරගවල දී හේලීස් සහ CDB යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනු අතර MODE ඉංජිනියරින්ස් සහ ජෝන් කීල්ස් අතර තරගය පැවැත්වීමට හැකියාවක් ලැබුනේ නැහැ. ඒ පැවති අයහපත් කාලගුණික තත්වය නිසා ක්‍රීඩා පිටියේ තණ නිල්ල තෙත බරිතව තිබූ නිසයි.

අද උදෑසන සහ ඊයේ රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාපතනය නිසා පී. සරා ඕවල් පිටියේ පැවති CDB – A සහ HNB – A තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකි වුනේ නැහැ. ඒ නිසාවෙන් එක්  ඉනිමක් පන්දුවාර 40කට සීමා කිරීමට සිදුවුනා.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් HNB පළමු කඩුලු 5ක් ලකුණු 35ක් තුල දවාගැනීමට දඟපන්දු යවන ක්‍රීඩක රොහාන් සංජය සහ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ ලහිරු මධුශංක සමත් වුනා.

අනතුරුව චාමර සිල්වා සහ චමිඳු විජේසිංහ එක්ව 6වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සබඳතාවයක් ගොඩනංවමින් HNB ලකුණු සටහන 142ක් දක්වා රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම සකස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු සිල්වා ලකුණු 34ක් ලබාගත්තා. පන්දු යැවීමේ දී මධුශංක ලකුණු 25කට කඩුලු 3ක් දවාගන්නා විට සංජය, තරිඳු රත්නායක සහ ඇන්ජලෝ පෙරේරා කඩුලු 2ක බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ CDB ක්‍රීඩකයින් පන්දුවාර 19කුත් පන්දුවක් අවසානයේ දී කඩුලු 5ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරාගත්තේ ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙනයි. ධනුෂ්ක ධර්මසිරි සහ සිතර ගිම්හාන් පිළිවෙළින් ලකුණු 44ක් සහ ලකුණු 39ක් ලබාගන්නා විට, ඇන්ජලෝ නොදැවී ලකුණු 33*ක් ලබාගත්තා. පන්දු යැවීමේ දී ඩිල්ශාන් මුණවීර කඩුලු 2ක් දවාගත්තා.

CCC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනු සම්පත් බැංකු A සහ හේලීස් A තරගයෙන් ලකුණු 106ක දැවැන්ත ජයක් ලබාගැනීමට ගියවර ශූරතාවය දිනාගත් හේලීස් A කණ්ඩායම සමත් වුනා.

සම්පත් බැංකු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හේලීස් කණ්ඩායම නියමිත පන්දුවාර 45 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 306ක් ලබාගත්තා. අංක 6 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ වනිඳු හසරංගගේ වැඩිමහල් සොහොයුරු චතුරංග ද සිල්වා පන්දු 36ක් තුල 4 පහර සහ 6 පහර 5 බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 74ක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත වුනා.

ඊට අමතරව නිමේශ ගුණසිංහ අර්ධ ශතකයක් ලබාගෙන ඔවුන්ගේ මුල් පෙළ සවිමත් කරද්දී, කඩුලු රකින පිතිකරුවන් වන විශාද් රන්දික සහ මොහොමඩ් ශමාස් පිළිවෙළින් ලකුණු 47ක් අහ ලකුණු 42ක් ලබාගෙන චතුරංග වෙත සිය සහය ලබාදුන්නා. ශමාස් සහ චතුරංග එක්ව 7 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 34ක් තුල වේගවත් ලකුණු 70ක සබඳතාවයක් ගොඩනැංවීම මෙහිදී කැපී පෙනුනා.

ලකුණු 307ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය සම්පත් බැංකු කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබාගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 146ක් පමණයි. දසුන් ශානක ලබාගත් ලකුණු 32ක අභිබවා ලකුණු රැස් කිරීමට එකඳු හෝ සම්පත් බැංකු ක්‍රීඩකයෙක් අද සමත් වුනේ නැහැ. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන කලන පෙරේරා කඩුලු 3ක් දවාගන්නා විට, ප්‍රභාත් ජයසූරිය, දිල්රුවන් පෙරේරා සහ චතුරංග අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

ලකුණු සාරාංශයන්,

CDB – A සහ HNB – A

  • කාසියේ වාසිය – HNB
  • ක්‍රීඩාංගණය – පී. සරා ඕවල්

HNB – 142/9 (40): චාමර සිල්වා 34, ලහිරු මධුශංක 3/25, තරිඳු රත්නායක 2/20, රොහාන් සංජය 2/30, ඇන්ජලෝ පෙරේරා 2/32.

CDB – 145/5 (19.1): ධනුෂ්ක ධර්මසිරි 44, සිතර ගිම්හාන් 39, ඇන්ජලෝ පෙරේරා 33*, ඩිල්ශාන් මුණවීර 2/30.

CDB කණ්ඩායමට කඩුලු 5ක ජයක්


සම්පත් බැංකු A සහ හේලීස් A

  • කාසියේ වාසිය – සම්පත් බැංකුව
  • ක්‍රීඩාංගණය – CCC ක්‍රීඩාංගණය

හේලීස් – 306/8 (45): චතුරංග ද සිල්වා 74, නිමේශ ගුණසිංහ 53, විෂාද් රන්දික 47, මොහොමඩ් ශමාස් 42, කවිඳු නදීෂාන් 3/41, දසුන් ශානක 3/56.

සම්පත් බැංකු A – 146/10 (26): දසුන් ශානක 32, ශිරාන් ප්‍රනාන්දු 30*, රනිත ලියනාරච්චි 30, කලන පෙරේරා 3/35, දිල්රුවන් පෙරේරා 2/21, චතුරංග ද සිල්වා 2/35, ප්‍රභාත් ජයසූරිය 2/46.

හේලීස් කණ්ඩායමට ලකුණු 160ක ජයක්

තරගාවලියේ මූලික වටයේ තවත් තරග තුනක් මැයි 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<