Lucknow නායකයාගෙන් පිතිකරුවන්ට දෝස්මුරක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

11398

පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන දස්කම් නිසාවෙන් Punjab Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 154ක ඉලක්කයක් සාර්ථකව ආරක්ෂා කර ගනිමින් ඊයේ (29) පැවති තරගය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට Lucknow Super Giants ක්‍රීඩකයින්ට හැකි වුනා.

Lucknow Super Giants වරක් පන්දුවාර 12.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 98ක් ලබා සිටි නමුත් මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසාවෙන් තවත් පන්දු 19ක් අවසානයේ ඔවුන්ගේ ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 111ක් ලෙසයි.

කෙසේ නමුත් පසුපෙළ පිතිකරුවන් ලෙස දුෂ්මන්ත චමීර ලකුණු 17ක්, ජේසන් හෝල්ඩර් ලකුණු 11ක් සහ Mohsin Khan ලබා ගත් ලකුණු 13 නිසාවෙන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

සිය මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳව අදහස් දක්වමින් Lucknow Super Giants නායක KL Rahul ප්‍රකාශ කළේ,

මම පළමු ඉනිම අවසානයේ ඉතාම කෝපයෙන් සිටියේ, එය පිතිකරණය පැත්තෙන් ඉතාමත් මෝඩ ක්‍රීඩා විලාශයක්. විශේෂයෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටිය දී. එය තරමක අසීරු තණතීරුවක් කියලා අපි සාකච්ඡා කළත් 160ක් පහසුවෙන් ලබා ගන්න තිබුණා. නමුත් දුර්වල පහරවල් සහ දුවද්දී දැවී යාම් නිසා ඒක කරන්න ලැබුණේ නැහැ. මම අපේ ඉනිමේ මැද කොටස ගැන ඉතාමත් අසතුටින් හිටියේ, මේක ඇත්තටම පන්දු යවන්නන්ගේ තරගයක්”

මෙම තරගයේ දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර පිතිකරණයෙන් ලකුණු 17ක් සිය කණ්ඩායමට අවශ්‍ය වූ මොහොතේ රැස්කර දුන් අතර සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර හතර තුළ ලකුණු 17ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළීමට ඔහුට හැකි වුනා.

එමෙන්ම කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ Mohsin Khan සිය පන්දුවාර 4 තුළ ලකුණු 24ක් පමණක් ලබා දෙමින් කඩුලු තුනක් දවා ගත්තා.

ඔවුන් අවසානයේ දී ඉතාමත් වටින ලකුණු 20ක් 25ක් ලබා ගත්තා වගේම පන්දුවාර 20 අවසන් වනතුරුම ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ඔවුන් ඔවුන්ගේ සැලසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළා. ඔවුන් පන්දුවෙන් වගේම පිතිකරණයෙනුත් නිර්භීතයි. මම සතුටු වෙනවා කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කළ ආකාරය ගැන, ඒත් පිතිකරුවන් නැවත මේ ගැන බලලා හොඳින් ක්‍රීඩා කළ යුතුයි”, යැයි Rahul වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<