ටෙහානි උදේම ඔලිම්පික් ආරම්භ කරද්දී නිලූක සහ Aniqah සවස තරග බිමට

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

4396

2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් ඉසව් කිහිපයක මූලික වටයේ තරග ඊයේ (21) ආරම්භ වූවත් ටෝකියෝ ඔලිම්පික් උළෙල නිල වශයෙන් ආරම්භ කරන සමාරම්භක උළෙල පැවැත්වෙන්නේ හෙටයි (23).

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ඔලිම්පික් වරම් දිනා ගත් අතර එයින් බොහොමයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විටත් ජපානයට ගොස් පුහුණුවීම් කටයුතු ද අරඹා අවසන්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තරග ආරම්භ කරමින් මේ සෙනසුරාදා (24) නිලූක කරුණාරත්න, ටෙහානි එගොඩවෙල සහ Aniqah Gaffoor තරග බිමට පිවිසීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

ටෙහානි එගොඩවෙල 

කාන්තා 10m Air Rifle ඉසව්වට සහභාගී වීමට සුදුසුකම් ලැබූ ටෙහානි එගොඩවෙල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් පිටියට පිවිසෙන පළමුවැන්නායි.

සිය පළමු ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ටෙහානි සෙනසුරාදා (24) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5ට තරග වැදීමට නියමිතයි.

වෙඩි තැබීම ඉසව්වේ ඉහළ දස්කම් පෑ ටෙහානි කාන්තා 10m Air Rifle ඉසව්වේ ජාතික වාර්තාවට ද හිමිකම් කියනවා.

Aniqah Gaffoor

ශ්‍රී ලංකා ඔලිම්පික් සංචිතයේ සිටින ළාබාලතම ක්‍රීඩිකාව වන 17 හැවිරිදි Aniqah Gaffoor මෙවර ඔලිම්පික් උළෙලෙ දී කාන්තා මීටර් 100 සමනලආර ඉසව්වට සහභාගී වීමට සුදුසුකම් ලබා සිටිනවා.

ඇයගේ පළමු ඔලිම්පික් උළෙල ලෙස මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වන Aniqahගේ මූලික වටයේ තරග සෙනසුරාදා (24) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.58ට ආරම්භ වීමට නියමිතයි.

මීටර් 100 සමනලආර ඉසව්වේ දකුණු ආසියානු පදක්කම් ලාභියෙකු ද වන Aniqahගේ එම ඉසව්වේ පෞද්ගලික හොඳම කාලය මිනිත්තු 1:04.58ක්.

නිලූක කරුණාරත්න

තෙවැනි වතාවටත් ඔලිම්පික් උළෙලක් සඳහා සුදුසුකම් ලැබූ නිලූක මෙවරත් නියෝජනය කරන්නේ පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වයි.

මෙවර ඔලිම්පික් උළෙලේ පළමු තරගය ලෙස ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම් හී 10 වැනි ස්ථානයේ පසුවන චීන තායිපේ ක්‍රීඩක WANG Tzu-Wei සමඟින් සෙනසුරාදා (24) සවස 4.30ට තරග වැදීමට නියමිතයි.

වසර ගණනාවක් අඛණ්ඩව ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් කිරුළ දිනා ගත් නිලූක 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ලෝක ශ්‍රේණිගත කිරීමේ 08 වැනි ස්ථානයේ සිටි ක්‍රීඩකයා පරාජය කිරීමට ද සමත් වුනා.

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තරග තොරතුරු මෙන්ම සියලූම විශේෂ අවස්ථාවන්හී ඡායාරූප සහ තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<