2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 07 වැනි දිනයට අදාළ තරග ඉසව් රැසක් ඊයේ (30) දිනයේ දී ක්‍රියාත්මක වුනා.
මෙම තරග ඉසව් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක, ක්‍රීඩිකා නියෝජනය රැසක් ද සහභාගී වූ අතර ඔවුන් ද සිය උපරිමය ලබා දෙමින් තරග වැදීමට සමත් වුනා.
ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාව සතු ප්‍රබලතම පදක්කම් බලාපොරොත්තුව වන රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ පිරිමි හෙල්ල විසි කිරීමේ මූලික වටයට සහභාගී වුනා.
මෙහි දී රුමේෂ් තරංග විසින් 82.84ක දුරක් හෙල්ලය විසි කරමින් මූලික වටයේ පළමු ස්ථානය පහසුවෙන් ම ලබා ගැනීමට සමත් වූ අතර, ඉසව්වේ අවසන් තරගයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් සුමේධ රණසිංහට ඊයේ දිනයේ දී සිය උත්සාහයක් සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර, මූලික වටයෙන් සිට ගමන නතර කිරීමට සිදු වුනා.
මේ අතර පිරිමි තුන් පිම්ම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ඉසව්ව නියෝජනය කළ යෙශාන් විස්මිත විසින් මීටර් 15.67ක දක්ෂතාවක් දක්වමින් 08 වැනි ස්ථානය ලබමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එමෙන්ම ඊයේ සවස් කාලයේ දී කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 අවසන් පූර්ව වටයේ තෙවැනි තරගයට සහභාගී වූ අතර, එහි දී ඔහු විසින් තත්පර 46.80ක කාලයක් සමඟ 07 වැනි ස්ථානයට පත් වූ අතර, සමස්ත තරගකරුවන් අතරේ 20 වැනි ස්ථානයට පත් වුනා. කාලිංගට ඉසව්වේ අවසන් තරගයට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.
මේ අතර ඊයේ රාත්‍රියේ දී කාන්තා මීටර් 100 T47 අවසන් තරගය නියෝජනය කිරීමට ජනනි ධනංජනා තරග බිමට පිවිසුණු අතර, ඇය විසින් මෙහි දී සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ද දක්වමින් තත්පර 12.50කින් ඉසව්ව නිම කළේ සිව්වැනියා ලෙසයි. ඇයට ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජය ගැනීමට තිබූ අවස්ථාව ඉතා සුළු පරතරයකින් අහිමි වී ගියා.
එමෙන්ම කාන්තා තුන් පිම්ම අවසන් තරගය ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, මේ සඳහා මදුශානි හේරත් සහභාගී වුනා. මදුශානි විසින් මීටර් 13.22ක දක්ෂතාවක් දක්වමින් ඉසව්වේ 06 වැනි ස්ථානයට පත් වුනා.
මේ අනුව ක්‍රීඩා උළෙලේ දින හතක් අවසන් වන විට සුපුරුදු පරිදි ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 51ක් සමඟ පදක්කම් සටහනේ පෙරමුණේ පසු වනවා. එමෙන්ම එක් රිදී පදක්කමක් ලබා ඇති ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 23 වැනි ස්ථානයෙයි රැඳී සිටින්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අද තවත් පදක්කමක් පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි.
අද (ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට අලුයම 12.45ට) රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගී වීමට සූදානමින් සිටින අතර, ඊට අමතරව මදුශානි හේරත් කාන්තා දුර පැනීම මූලික වටයේ තරග සඳහා මෙන්ම, ශ්‍රී ලංකා මිශ්‍ර 4×400 කණ්ඩායම සිය ඉසව්වේ මූලික වටයේ තරග සඳහා සහභාගී වීමට නියමිතයි.
එමෙන්ම විමුක්ති ප්‍රියංකර අද පිරිමි 60Kg ජූඩෝ අවසන් 16 දෙනාගේ තරග වටයට සහභාගී වීමට සූදානමින් සිටිනවා.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















