වෘත්තීයවේදීන්ගේ ශූරතාව නීතිඥයින්ට

Professionals' Cricket League 2023

264
Professionals' Cricket League 2023

ශ්‍රී ලංකා වෘත්තීයවේදීන් අතර පැවති විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නීතිඥ ක්‍රීඩකයෝ අද (24) සමත් වුනා.

කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී ඉංජිනේරුවන්ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ශූරතාව දිනා ගත්තා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වූ අතර ඒ අතරින් අවසන් පූර්ව වටය සඳහා මෙම කණ්ඩායම් 2 සමඟින් වෛද්‍යවරුන්ගේ  සහ අලෙවිකරුවන්ගේ කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව පැවති එම වටයේ දී වෛද්‍යවරුන්ගේ කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් ඉංජිනේරු ක්‍රීඩකයෝ ද සහ අලෙවිකරුවන්ගේ කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් නීතිඥ ක්‍රීඩකයෝ ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

  • නීතිඥයින්ගේකණ්ඩායම: එර්ශාන් ආරියරත්නම් (නායක), තුසිත් පලිවත්ත, පවිත්‍ර බොලපගේ, කසුන් හෙට්ටිආරච්චි, අකිල ජයසුන්දර, ශන්මුගම්පිල්ලෙයි ජෙතර්ෂන්, යොහාන් ජිනසේන, කුළුණු රොද්‍රිගෝ, මොහොමඩ් ශමීර් (කඩුලු රකින්නා), ජූඩ් මනේෂ් වෑවිට සහ සචිත්‍ර තෙන්නකෝන්.
  • ඉංජිනේරුවන්ගේ කණ්ඩායම:විරාජ් ප්‍රේමරත්න (නායක), ලක්මාල් ලසින්ත, ඔසුර මහදිවුල්වැව (කඩුලු රකින්නා) රුමේෂ් මධුශංක, හිරුෂ බලපිටිය, ගීත් සංකල්ප, නිරන්ද පැතුම්, චන්දුල වැලිවිට, විමුක්ති ගුණතිලක සහ තිළිණ කසුන්.

කාසියේ වාසිය දිනා ගත් ඉංජිනේරුවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නීතිඥයෝ තම පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 143ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඉංජිනේරු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 125ක් පමණයි.

නීතිඥ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 22කට දැවී ගොස් තිබිය දී කසුන් හෙට්ටිආරච්චි සහ අකිල ජයසුන්දර එක් ව සිව්වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 67ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා.

එහි දී කසුන් පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

අකිල ජයසුන්දර නීතිඥ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 22කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

ඊට අමතරව යොහාන් ජිනසේන පන්දු 18කට මුහුණ දෙමින් 4 පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ගීත් සංකල්ප පන්දුවාර 4ක් යවමින් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව චන්දුල ප්‍රේමරත්න කඩුලු 2ක් දවා ගත් අතර විමුක්ති ගුණතිලක, රුමේෂ් මධුශංක සහ විරාජ් ප්‍රේමරත්න කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ඉංජිනේරුවන්ගේ කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වූයේ හිරුෂ බලපිටිය. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.

ඔහු රුමේෂ් මධුශංක හා එක් වෙමින් සිව්වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 24ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා. රුමේෂ් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඔහු ගීත් සංකල්ප සමඟ ද එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 20ක දී ලකුණු 25ක් ද සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා. ගීත් පන්දු 13කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.

ඊට අමතරව ආරම්භක පිතිකරු ලක්මාල් ලසින්ත ලකුණු 14ක් සහ නායක විරාජ් ප්‍රේමරත්න ලකුණු 12ක් ලබා ගනිමින් ඉංජිනේරුවන්ගේ කණ්ඩායම ගොඩ ගැනීමට උත්සාහ කළා.

නමුත් ඔවුන්ගේ ඉනිම සම්පූර්ණයෙන් ම අඩපණ කිරීමට ශම්මුගපිල්ලෙයි ජෙතර්ෂන් සමත් වුනා. ඔහු පන්දුවාර 3ක් යවමින් ලකුණු 9ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගත්තා.

ඊට අමතරව තුසිත් පලිවත්ත කඩුලු 2ක් ද, සචිත්‍ර තෙන්නකෝන්, අකිල ජයසුන්දර සහ ජූඩ් මනේෂ් වෑවිට කඩුල්ල බැගින් ද දවා ගත්තා.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නීතිඥයින්කඩුලු 8ක් දැවී 143 (20) කසුන් හෙට්ටිආරච්චි 32, අකිල ජයසුන්දර 43, යොහාන් ජිනසේන නොදැවී 18, ගීත් සංකල්ප 3/19, චන්දුල ප්‍රේමරත්න 2/24
  • ඉංජිනේරුවන් කඩුලු 9ක් දැවී 125 (20)රුමේෂ් මධුශංක 18, හිරුෂ බලපිටියට 29, තුසිත් පලිවත්ත 2/28, ශම්මුගපිල්ලෙයි ජෙතර්ෂන් 4/09

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වෛද්‍යවරුන් සහ අලෙවිකරුවන්ගේ   කණ්ඩායම් අතරින් තෙවැනි ස්ථානයට පත් වෙන කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවති තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුනා.

  • අලෙවිකරුවන්ගේ කණ්ඩායම:රොෂාන් ඩාලින් (නායක), අශාන් සේනතිරාජා, ලක්ෂින රොද්‍රිගෝ (කඩුලු රකින්නා), උදාර පීරිස්, ධනුශ්ක කොළඹගේ, දමිත් වීරසිංහ, ලෝචන බණ්ඩාර, පූජිත උදුවන, ප්‍රසන්න පීටර්, ප්‍රමෝද් ප්‍රනාන්දු සහ ජනිත් ජයසිංහ.
  • වෛද්‍යවරුන්ගේ කණ්ඩායම:තරිඳු කාලිංග (නායක), රජීව් නිර්මලසිංහම්, තාරක වික්‍රමගේ, ෂෙහාන් නිලූක, ඩිලාන් පරණමාන, නුවන් චතුරංග, වේදිත රණසිංහ (කඩුලු රකින්නා), ඉසුරු අහේෂ්, අමිල උදාර, ජීවන් සමරසේන සහ ෂෙහාන් සංජීව.

එම තරගය ද කොළඹ BRC පිටියේ දී පැවති අතර වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 18කට සීමා වී තිබුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගත් වෛද්‍යවරුන්ගේ  කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අලෙවිකරුවන් කඩුලු 8ක් දැවී ලකුණු 100ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි වෛද්‍යවරුන්ගේ කණ්ඩායම කඩුලු 7ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • අලෙවිකරුවන් – කඩුලු 8ක් දැවී 100 (18)ධනුෂ්ක කොළඹගේ 32, ලෝචන බණ්ඩාර 19, ඉසුරු අහේෂ් 2/06
  • වෛද්‍යවරුන් – කඩුලු 7ක් දැවී 101 (17.5) තාරක වික්‍රමගේ 40, ඩිලාන් පරණමාන 17, ධනුෂ්ක කොළඹගේ 2/11

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<