ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්

229

ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි  සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා.

අප්‍රේල් 09 වැනිදා තායිලන්තයේ දී පැවති ආසියානු රග්බි සම්මේලනයේ අනු කමිටු රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටුව විසින් 2022 අප්‍රේල් 20 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු ඔවුන්ගේ නියෝජිතයා ලබා දුන් වාර්තාව පිළිබඳව අවධානය යොමුකර තිබුණා.

එම නියෝජිතයා විසින් අදාළ පාර්ශවයන්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා, ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා සමාජ ඇතුළු පාර්ශවයන් මුණගැසී නව රග්බි නිලවරණයක් සඳහා එකඟතාව ලබාගෙන තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී අදාළ පාර්ශවයන් සාධාරණව නියෝජනය නොවීම සම්බන්ධයෙන් ද එම වාර්තාවේ සඳහන් වීම විශේෂත්වයක්.

ක්‍රීඩාවේ මධ්‍යස්ථ භාවයක් සහ ගුණාත්මක බවක් රඳවා ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව විසින් පවත්වන නිලවරණයක් සඳහා කළමනාකරණය සහ පැවැත්වීමට ඇති කැමැත්ත තහවුරු කරමින් ආසියානු රග්බි සම්මේලනය විසින් 29 වැනිදා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය තේනුක විදානගමගේ වෙත ලිපියක් නිකුත් කර තිබුණා.

ජාතික ඔලිම්පික් කමිටුව සමඟ කටයුතු කර නිලවරණයට අදාළ තොරතුරු ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දෙන බව සහ විනිවිද භාවයක් සහිත නිලවරණයක් සඳහා ආසියානු සහ ලෝක රග්බි සම්මේලනයේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන බව ද ඔවුන් තහවුරු කර තිබුණා.

එමෙන්ම සිය දැනුම්දීම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගේ පිළිතුරු ලිපියක් මැයි 06 වැනිදාට පෙර බලාපොරොත්තුවෙන් පසුවනවා.

ආසියානු රග්බි සම්මේලනය ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම වැනි මූලධර්ම ආරක්ෂා කරගනිමින් නව නිලවරණය අවසන් වන තුරුයි.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික හෝ ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමකට මෙම තහනම ඉවත් වනතුරු කිසිදු කලාපීය රග්බි තරගාවලියකට සහභාගී වීමට අවසර හිමිවන්නේ නැහැ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<