2018 පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ශූරතාවලියේ 400m කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම ද, 400m ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගනිමින් මලල ක්‍රීඩා පිටියේ ඉදිරියට පැමිණ ආසියානු කනිෂ්ඨ පිටියේ ද කැපී පෙනෙන දස්කම් පෑමට සමත් වූ මොහු නමින් පසිඳු කොඩිකාර ය.

Photo Story – ලාංකීය මලල ක්‍රීඩාවට පෑයූ නව අරුණැල්ල

මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ මලල ක්‍රීඩාවේ අනාගතයට සුබ ලකුණු පෙන්නුම් කරන පසිඳු කොඩිකාරගේ ක්‍රීඩා දිවිය තුළ දී ThePapare.com කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි.

1.පාසල් පිටියේ කැපී පෙනෙන දස්කම්

හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙන් ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඔහු පසුව කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙනුවෙන් දස්කම් දක්වමින් 2017 පැවති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව තත්පර 52.9කින් අවසන් කරමින් එම ඉසව්වේ වාර්තාවක් ද පිහිටුවීමට සමත්වනවා.

 2.දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලියට අසුන දිනා ගැනීම 

පාසල් පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් 2018 වසරේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා තේරී පත් වූ ඔහු එහි මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම සහ 400 කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම (තත්පර 52.90) දිනා ගනිමින් දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට තේරී පත්වනවා.

3.දේශීය පිටියේ දස්කම් ජාත්‍යන්තර තලයරැකගැනීම

සිය මුල්ම ජාත්‍යන්තර තරගාවලිය ලෙස 2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ ඔහු එහි මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වනවා.

එයින් අනතුරුව සිය ප්‍රධාන ඉසව්ව වන මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ ඔහු එම තරගය තත්පර 52.56ක කාලයකින් නිමා කරමින් තරගාවලි වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වනවා.

Photo Story – ආබාධ මතින් ජය කණුව කරා ගිය පානදුරේ වීරවරිය

4.දකුණු ආසියානු වාර්තාවකට පෙරමුණ ගැනීම 

සාර්ථක ජයග්‍රහණ දෙකකින් අනතුරුව මීටර් 400×4 සහය දිවීම ඉසව්වේ ආරම්භය ලබා ගත් ඔහු අනෙකුත් ක්‍රීඩකයන් සමඟ පරතරයක් තබා ගනිමින් පළමුවැන්නා ලෙස යෂ්ටි හුවමාරුව සිදු කරන්නට සමත් වන අතර ඔහු ඇතුළු කණ්ඩායම මිනිත්තු 3.08.23කින් තරගය අවසන් කරමින් දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වනවා.

5.ආසියානු පිටියේ ජයක් ලැබීම 

දකුණු ආසියානු කනිෂ්ඨ පිටියේ පෑ දස්කම් නිසාවෙන් 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා තේරීපත්වූ ඔහු එහි මීටර් 400 ඉසව්ව ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශනට පමණක් දෙවැනි වෙමින් අවසන් කරන්නේ (තත්පර 46.96) තම පදක්කම් ගොන්නට ආසියානු පදක්කමක් එක්කරගනිමිනි.

6.ආසියා රනින් දිනන්ට සහය වීම 

එම ජයග්‍රහණයෙන් අනතුරුව තරගාවලියේ තවත් කැපී පෙනෙන ඉසව්වක් වූ මීටර් 400×4 සහය දිවීමේ තරගයේ පළමු යෂ්ටි හුවමාරුවේ දී තෙවැන්නා ලෙස යෂ්ටිය ලබා ගනිමින් පරතරයක් ද සමඟින් පළමුවැන්නා ලෙස යෂ්ටිය හුවමාරු කිරීමට ඔහු සමත් වන අතර එම පරතරයත් අනෙකුත් ක්‍රීඩකයන්ගේ දක්ෂ ක්‍රීඩාවිලාශයත් නිසාවෙන් තරගයේ රන් පදක්කම දිනා ගැනීමට පසිඳු ඇතුළු කණ්ඩායම සමත්වනවා (මිනිත්තු 3.08.70).

Photo Story – ඔලිම්පික් සිහිනයට පන පොවන හලාවත දිරිය දියණිය

7.පරාජයකින් හිමිවූ අවස්ථාව 

කනිෂ්ඨ පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් 2018 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වූ ඔහුට මීටර් 400 ඉසව්ව පදක්කම් බලාපොරොත්තු සුන් කරගනිමින් සිව්වැන්නා ලෙස නිමා කිරීමට සිදු වන නමුත් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400×4 සහය දිවීමේ කණ්ඩායමට තේරී පත්වීමට ඔහු සමත්වනවා.

8.බලාපොරොත්තු සුන් වූ වේදනාත්මක අවසානය 

ජ්‍යෙෂ්ඨ තරග පිටියේ මුල්ම ජාත්‍යන්තර තරගාවලිය ලෙස 2018 ආසියානු ක්‍රීඩා තරගාවලියේ මීටර් 400×4 සහය දිවීමේ තරගය නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට පසිඳු සමත්වන අතර ඔහු ඇතුළු කණ්ඩායම අනෙකුත් ක්‍රීඩකයන් හා තියුණු සටනකින් අනතුරුව සිව්වැන්නන් (තත්පර 3:02:74) ලෙස තරගය නිමා කරන්නේ ඉතා සුළු කාලයකින් ආසියානු පදක්කමක් අහිමි කරගනිමිනි (තත්පර 0:00:80කින්).

එම තරගාවලියෙන් කෙටි කලකට පසුව සිය අධ්‍යාපනයට මූලිකත්වය දෙමින් තාවකාලිකව පිටියෙන් ඉවත් වීමට තීරණය කළ ඔහු අ.පො.ස උසස් පෙළ කඩඉම ද සාර්ථකව පසුකිරීමට සමත්වනවා.

සෑම විටම තම හැකියාව ඉහළ නංවා ගැනීමට කැපවෙමින් කටයුතු කරන පසිඳුගේ ක්‍රීඩා දිවියේ ඉලක්කයන් ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<