නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අවසන් වූයේ ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාව නැවත වරක් දකුණු ආසියාවේ ඉහළ තැනකට රැගෙන එමිනි.

කෙසේ නමුත් තරගාවලිය ආරම්භයේ සිටම ක්‍රීඩකයන් රෝගී වීම සහ ආබාධවලට ගොදුරු වීම වැනි කරුණු නිසා බොහෝ ඉසව් සඳහා වෙනත් ක්‍රීඩකයින් ආදේශ කිරීමට සිදු වූ අතර එම ආදේශක ක්‍රීඩකයන් පවා රන් පදක්කම් දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණු කරුණක්.

කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කිරීමට සූදානමින් සිටි විදූෂා ලක්ෂානි ද ආබාධයකට ලක් වීම නිසා ඇය වෙනුවට සාරංගි සිල්වා ආදේශ කරන්නට සිදු වූ අතර ඉසව්ව රන් පදක්කමකින් නිමා කරන්නට සාරංගි සමත් වූවාය.

මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ ඇය දකුණු ආසියානු රන් පදක්කමක් දක්වා ගිය ගමනේ ThePapare.com කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි. 

1) දකුණු ආසියානු තලයේ ජයක් ලැබීම 

දේශීය පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් 2016 වසරේ පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලට තේරීපත්වූ ඇය එහි දුර පැනීමේ ඉසව්වෙන් මීටර 5.89ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.


2) ජාතික මලල ක්‍රීඩා පිටියේ ආධිපත්‍ය පැතිර වීම  

2016 වසරේ පැවති 94 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දුර පැනීම ඉසව්ව නියෝජනය කළ සාරංගි සිල්වා මීටර 6.04ක දස්කමක් දක්වමින් ජාතික ශූරිය ලෙස අභිෂේක ලැබීය. එම දස්කම් නිසාවෙන් ඇය තරගාවලියේ HNB අභියෝගතා කුසලානය දිනා ගන්නට ද සමත් විය.


3) ජාතික ආධිපත්‍ය රැකගැනීම 

එම ජයග්‍රහණයෙන් අනතුරුව එම වසරේම පැවති 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ඉසව්ව මීටර 5.99ක දක්ෂතාවයක් වාර්තා කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූයේ එම ඉසව්වට ජාතික ශූරිය තමන් බව නැවතත් සනාථ කරමිනි.


4) යුධ හමුදා පිටියේ දස්කම් දැක්වීම 

මලල ක්‍රීඩා පිටියේ විශිෂ්ටයන් රැසක් මෙරටට දායක කෙරූ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සාමාජිකාවක් වූ ඇය, යුද හමුදා මලල ක්‍රීඩා පිටියේ ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. එම දස්කම් නිසාවෙන් 2019 වසරේ පැවති “Military World Games” සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ඇය වරම් දිනා ගත්තාය.


5) බලාපොරොත්තු බොඳ වූ ජාතික තරගාවලිය 

ආබාධ හේතුවෙන් කෙටි කලක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ සාරංගි 2019 වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී තම සුපුරුදු ඉසව්ව වූ දුර පැනීමේ ඉසව්ව නියෝජනය කළ නමුත්, සුපුරුදු දස්කම් දක්වන්නට ඇය අසමත් විය. 

එහි දී මීටර 5.92ක දක්ෂතාවයක් පෙන්නුම් කළ ඇයට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු වන්නේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ එම ඉසව්ව නියෝජනය කිරීමට තිබූ අවස්ථාව ද අහිමිව යමිනි.


6) සිහින ජය ගන්න නැවත අවස්ථාවක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ඉසව්ව සඳහා වරම් අහිමි වූවත් මීටර 100X4 සහය දිවීමේ කණ්ඩායමේ ස්ථානයක් දිනා ගන්නට ඇය සමත් විය. කෙසේ නමුත් තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටි විදූෂා ලක්ෂානි ආබාධයකට ගොදුරු වීම නිසාවෙන් දුර පැනීමේ ඉසව්වේ වගකීම සාරංගිට ලබා දීමට ඇය තීරණය කළේය.


7) ආදේශ ක්‍රීඩිකාවක් ලෙස වගකීම් උපරිමයෙන් ඉටු කිරීම 

විදූෂාගේ ආබාධය නිසාවෙන් ලැබුණු අවස්ථාවෙන් සාර්ථක ඵල නෙලා ගැනීමට සමත් වූ සාරංගි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ඉසව්වේ මීටර 6.38ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තේ සිය හොඳම දක්ෂතාවය ද වාර්තා කරමිනි.

තම ක්‍රීඩා දිවියේ උපරිම රිද්මයේ සිටි සාරංගි හට ආබාධ නිසාවෙන් බොහෝ කලක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට සිදු වූවද, ඇය තුළ ඇති සහජ හැකියාව සහ කැපවීම පිළිබඳව මෙම ජයග්‍රහණය කදිම නිදසුනකි.

මෙරට මලල ක්‍රීඩාව නැවත වතාවක් ජාත්‍යන්තර තලයේ බැබළවීමට ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<