පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත්වූයේ මෙරට මලල ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව සුබ පෙරනිමිති පහල කරමිනි. එහි දී කාගේත් අවධානය දිනා ගත් ඉසව් අතර 400m කාන්තා සහය දිවීමේ ඉසව්වේ දී, නොතිබූ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිනා දීමට කණ්ඩායමේ සිටි ළාබාලතම ක්‍රීඩිකාව සමත් වූවාය. එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් තුනක් දිනා දුන් ඇය නමින් දිල්ෂි කුමාරසිංහ ය. 

SAG පිටිය බැබළවූ “දිගන පොඩි නංගි” – ඩිල්ෂි

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා …..

මහනුවර දිගන ප්‍රදේශයෙන් මලල ක්‍රීඩාවට පිවිසි ඇය පාසල් මලල ක්‍රීඩා පිටියේ දී කාගේත් කතාබහට ලක්වූ ක්‍රීඩිකාවකි. 2018 වසරේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය, 2019 වසරේ බදුල්ලේ දී පැවති ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරන්නේ පළමු වතාවට ජාතික තලයේ තරගාවලියක් සඳහා සහභාගී වෙමිනි.

මෙවර Photo Story ලිපිය වෙන්වන්නේ බදුල්ලේ දී සිය මංගල ජාතික තරගාවලිය සඳහා සහභාගී වූ දිල්ෂි, එහි 400m ඉසව්ව රනින් නිමා කළ අවස්ථාවේ ThePapare.com කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි. 

1.  ජයග්‍රහණය පිළිබඳව සිතේ දැඩි අරමුණක් තබා ගැනීම

ජාතික තලයේ සිය මංගල තරග ඉසව්ව වූ 800m ජයග්‍රහණය කළ ඇය ඉතා තරගකාරී ඉසව්වක් වන 400m ඉසව්වට සහභාගි වන්නේ, මෙම ඉසව්වත් ජයග්‍රහණයකින් නිමා කරමින් ජාතික මට්ටමේ සහභාගී වූ පළමු තරගාවලියේ දී ම සිය උපරිම දක්ෂතා දැක්වීමට අදිටන් කරගනිමිනි. 


2. සාර්ථක ආරම්භයක් ලබා ගනිමින්

ඉසව්ව ආරම්භ කිරීමේ වෙඩි හඬ ගුවනට නිකුත් වූවාත් සමඟම දිල්ෂි ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වන්නේ මෙය හුදෙක් තරගයක ආරම්භයක් පමණක් නොව තම ජාතික ක්‍රීඩා දිවියේ ඉදිරි ගමනට ලබා ගන්නා සාර්ථක ආරම්භයක් බවට මෙය පත්කර ගැනීමේ අධිෂ්ඨානයෙනි.


3. තරගයට සාර්ථකව අවතීර්ණ වීම

තරගයේ මුල් භාගයේ දී අනෙකුත් ක්‍රීඩිකාවන්ට පසුපසින් පාලනයක් සහිත වේගයක් රඳවා ගෙන ධාවනයේ යෙදුණු ඈ, දෙවන භාගය වන විට තම වේගය වැඩි කරමින් අනෙකුත් ක්‍රීඩිකාවන් පසු කරමින් තරගය තමන් වෙත නතුකර ගැනීමට සමත් වන්නේ අනෙකුත් ක්‍රීඩිකාවන් සමඟ සැලකිය යුතු පරතරයක් තබා ගනිමිනි.


4. ඉසව්වේ ආධිපත්‍ය සියතට ගැනීම

ඇයගේ ධාවනයට ඉතා විශාල දිරිගැන්වීමක් රැස්ව සිට ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වන අතර ඒ සමඟම ඇය තම වේගය තවත් වැඩි කරමින් අනෙකුත් ක්‍රීඩිකාවන්ට තමන්ට ළඟා වීමටවත් නොහැකි පරතරයක් ගොඩනගා නැගීමට සමත් වන්නේ තම ක්‍රීඩා දිවියේ ඉතා වටිනා කඩඉමක් පැනීමට ළං වෙමිනි.


5. ක්‍රීඩා දිවියේ නව ආරම්භයක් වූ තරග අවසානය

තමන් ලබා ගත් පරතරය එලෙසෙම තබා ගනිමින් තත්පර 55.63කින් තරගය අවසන් කිරීමට ඇය සමත් වන අතර මෙම ළාබාල ක්‍රීඩිකාව තමන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ මීළඟ පෙරගමන්කරු වෙතැයි ඉඟි පලකරන්නේ තමන්ගේ ක්‍රීඩා දිවියේ නව ගමනකට මාවත විවර කරගනිමිනි.


6. ජයග්‍රහණය සැමරීම 

ඒ අනුව සිය මංගල ජාතික තරගාවලිය ඉතා සාර්ථකව අවසන් කෙරූ ඇය තමන්ගේ ජයග්‍රහණය නිසාවෙන් අනවශ්‍ය උද්දාමයකට පත් නොවී නිහඬව සිය ජයග්‍රහණය සමරන්නට වූයේ පරිණත මලල ක්‍රීඩිකාවගේ ලක්ෂණ විදහා දක්වමිනි.


7. කෘතගුණ දැක්වීම

තරගාවලියේ රන් දිනන්නට ඇයට උපකාර වූ සිය දෙපයට වැද ගෞරව දැක්වූ ඇය ඉන්පසුව තමන් හට දිවීමට සහය වූ පාවහන් යුගල සිපගත්තේ තමන්ට සහය වූවාට ස්තුතිය සහ ඊට ගෞරවය ලබා දෙමිනි. ඇය තුළ මෙම ක්‍රීඩාවට ඇති ආදරය ගෞරවය එමගින් මනාව පෙන්නුම් කරන්නට විය.

තවත් Photo Story එකක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<