පාකිස්තානයත් පුහුණුකරුවන් වෙනස් කරයි

3269
cricket

පාකිස්තාන ක්‍රිකට් ආයතනය තම පුහුණුකරුවන් වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම තීරණය දැනුම් දුන්නේ පසුගිය අගෝස්තු 7 වැනිදා එරට වර්තමාන පුහුණුකරුවන්ගේ ධූර කාලය සම්බන්ධ ගිවිසුම් තවදුරටත් දිගු නොකරන බව පවසමින්. 

ඒ අනුව පාකිස්තානයේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර්, පන්දු ‍යැවීමේ පුහුණුකරු අසාර් මහමුද්, පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හා ශාරීරික පුහුණුකරු ග්‍රාන්ට් ලූඩන්ගේ ගිවිසුම් මෙම මස අවසානයේ දී අවලංගු වීමට නියමිතය. 

හැම උදෑසනක්ම මට නත්තල් උදෑසනක් වගේ – ස්මිත්

ස්මිත්ගේ ශතක දෙකකින් ආරම්භ වූ මෙවර අළුබඳුන …..

මෙම තීරණය දැනුම්දීමට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතන කමිටු රැස්වීමක් පැවති අතර එහි දී එම කමිටු සාමාජිකයන් ඒකමතිකව තීරණය කර ඇත්තේ පුහුණුකරුවන්ගේ වෙනසක් සිදු විය යුතු බවයි. පාකිස්තාන ක්‍රිකට් කමිටුව, ප්‍රධාන විධායක නිලධාරි වසීම් ඛාන්ගෙන් හා වසීම් අක්‍රම්, මිස්බා උල් හක්, ඌරෝජ් මුම්ටාස් හා පාකිස්තාන ක්‍රිකට් ආයතන සභාපති වන එහ්සාන් මානිගෙන් සමන්විත විය. 

“මම ස්තූතිවන්ත වෙනවා පාකිස්තාන ක්‍රිකට් කමිටුවට මේ නව තීරණය ගැන ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. මේ කමිටුව සමන්විත වෙන්නේ එක් එක් අංශවල විශේෂ දැනුමක් තියන සාමාජිකයන්ගෙන්. ඔවුන්ට පළපුරුද්ද හා දැනුම තියනවා මේ සම්බන්ධයෙන්. කමිටුවේ ඒකමතික තීරණය වුනේ නව මෙහෙයවීමක් සමඟින් නව ගමනකට අවතීර්ණ විය යුතු බව. මම ඔවුන්ගේ අදහස් හා එකඟ වෙනවා” පාකිස්තාන ක්‍රිකට් ආයතන සභාපති එහ්සාන් මානි පවසා සිටියා.

“පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා පුහුණුකරු මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර්, ග්‍රාන්ට් ලූඩන් හා අසාර් මහ්මුද්ට ඔවුන් මේ ජාතික කණ්ඩායම සමඟ කටයුතු කළ කාලයේ දැක්වූ විශාල කැපවීම හා උනන්දුව පිළිබඳව. අපි ඔවුන්ගේ සියලු අනාගත කර්තව්‍යයන් සාර්ථක වීමට සුබපතනවා. පාකිස්තාන ක්‍රිකට් ආයතනය සෑම විටම පාකිස්තාන ක්‍රිකට් ඉහල තලයකට ඔසවා තැබීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට බැඳී සිටිනවා. ක්‍රිකට් ආයතනය විදිහට අපි අපේ කණ්ඩායමට හා ක්‍රීඩාලෝලීන්ට අපිට හැකි උපරිම සේවය ලබා දෙනවා.” 

මිකී ආතර් පාකිස්තාන පුහුණුකරු ලෙස 2016 දී සම්බන්ධ වූයේ ඒ වන විට පුහුණුකරු ලෙස කටයුතු කළ වකාර් යුනිස්ගේ ඉවත් වීමත් සමඟිනි. වකාර් යුනිස්ගේ ඉවත් වීමට 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ අසාර්ථකත්වය බලපෑවේය. ආතර් ප්‍රධාන පුහුණුකරු වීමට වසර දෙකකට පෙර පිතිකරණ පුහුණුකරු ලෙස ග්‍රාන්ට් ෆ්ලවර් කටයුතු කරමින් සිටි අතර අසාර් මහ්මුද් 2016 වසරේ සිට පුහුණුකරුවෙකු ලෙස පාකිස්තාන කණ්ඩායම සමඟින් සම්බන්ධ වී සිටියේය. 

ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට වෙනසක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ……..

පාකිස්තානය මිකී ආතර්ගේ පුහුණුකාරිත්වය යටතේ ලබා ගත් විශාලතම ජයග්‍රහණය ලෙස 2017 ශූරයින්ගේ කුසලානය සැලකිය හැක. පාකිස්තාන කණ්ඩායම සෑම අංශයකින්ම ඉදිරියට පැමිණෙමින් සිටි අතර ශාරීරික යෝග්‍යතාව අතින් ද ඔවුන් ප්‍රබල ස්ථානයක පසුවිය. එම දියුණුව මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ සිදු වූ බව නොරහසකි. පාකිස්තානය මෙම කාල වකවානුව තුල විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත් වූ අතර එක්දින ශ්‍රේණිගත කිරීම්වල ද පෙරමුණ ගැනීමට සමත්ව සිටියහ. කෙසේ වෙතත් පාකිස්තානයට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වූ අතර ඔවුන් තරගාවලියේ පස්වැනි ස්ථානය දිනා ගනිමින් තරගාවලිය නිමා කළේය. ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු බිඳවැටීම මෙලෙස පුහුණුකාරීත්වයේ වෙනසක් සිදු කිරීම ක්‍රිකට් ආයතනය ගත් තීරණයට ප්‍රධාන හේතුව විය හැක.

හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි !

මීට වසර 15 කට පමණ පෙර දකුණු අප්‍රිකාව …..

මෙම පුහුණුකරුවන්ගේ ධූර කාලය මෙම මස අවසානයේ දී නිමා වනු ඇත. පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ගිවිසුම් අවසන් වීමෙන් අනතුරුව ඔවුන් පුරප්පාඩු වන ධූර හතර සඳහා අයැදුම් කිරීමට බලාපොරොත්තු වන පුහුණුකරුවෙන්ගේ අයදුම්පත් සලකා බැලීමට සූදානම් බවයි. එය පාකිස්තාන ක්‍රිකට් පුහුණුකරුවන් අලුත් කිරීමේ ආරම්භක පියවර වනු ඇත. 

එළඹෙන මාස කීපය පාකිස්තාන කණ්ඩායමට විවේකී කාලයක් වන අතර ඔවුන් මීළඟ තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත වන්නේ නොවැම්බර් මාසයේ දීයි. ඒ අනුව ටෙස්ට් තරග දෙකක් හා විස්සයි විස්ස තරග තුනක් සඳහා පාකිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක් සඳහා එක්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<