Paul Pogbaට වසර හතරක තරග තහනමක්!

316

ප්‍රංශ සහ Juventus පාපන්දු කණ්ඩායම්වල මැද පෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන Paul Pogba හට තහනම් උත්තේජක භාවිතා කිරීමේ වරදට වසර හතරක තරග තහනමක් නියම කර තිබෙනවා.

2023 අගෝස්තු මස 20 වැනි දා Juventus සහ Udinese කණ්ඩායම් අතර පාපන්දු තරගයෙන් පසුව පැවැත්වුණු තහනම් උත්තේජක පරීක්ෂාවෙන් Pogba අසමත් වී තිබුණා.

ඔහුගේ ශරීරයෙන් තහනම් උත්තේජක සංඝටක හමුවීමත් සමඟ ඉතාලි ජාතික තහනම් උත්තේජක විරෝධී විනිශ්චය කමිටුව මගින් Pogbaට තාවකාලික තරග තහනමක් පැනවූ අතර, ගෙවුණු දෙසැම්බර් මාසයේ දී ඔහුට වසර හතරක තරග තහනම් ලබා දෙන මෙන් නඩුවක් ද පැනවුනා.

මේ අනුවයි අද (29) දිනයේ දී Pogbaගේ තරග තහනම නිල වශයෙන් තහවුරු කෙරුණේ.

කෙසේ වෙතත් තමන් කිසිම විටෙකත් තහනම් උත්තේජක භාවිතා නොකළ බව සඳහන් කරන Pogba මෙම තීරණය වෙනුවෙන් නැවතත් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කරන්නේ.

” ඔවුන්ගේ තීරණය අද මට දැන්වුවා, ඒත් එම තීන්දුව වැරදි බව මම විශ්වාස කරනවා.

මම මගේ ක්‍රීඩා ජීවිතය තුළ ගොඩනගා ගත් සෑම දෙයක් ම මගෙන් උදුරා ගැනීම ගැන මම කනගාටුවට සහ කම්පනයට පත් වෙලයි ඉන්නේ.

මම නීතිමය සීමාවන්ගෙන් නිදහස් වූ පසු සම්පූර්ණ කතාව ම පැහැදිලි වේවී. නමුත් මම දැනුවත් ව හෝ හිතාමතාම කිසිම විටෙක තහනම් උත්තේජක රෙගුලාසි කඩ කරන අන්දමේ යමක් ලබා ගත්තේ නැහැ.

වෘත්තිය ක්‍රීඩකයකු ලෙස තහනම් ද්‍රවය භාවිත කරමින් මගේ දක්ෂතා ඉහළ නංවා ගැනීමට කිසිවක් සිදු කර නැහැ. ඒ වගේම මම කිසිම දිනෙක මා සමඟ හෝ මට එරෙහිව ක්‍රීඩා කළ කිසිදු කණ්ඩායමක ක්‍රීඩකයකුට, ආධාරකරුවන්ට අගෞරවයක් හෝ වංචාවක් ද සිදු කර නැහැ.

Manchester United කණ්ඩායම සමඟින් සිය වෘත්තීය පාපන්දු ජීවිතය ආරම්භ කළ Pogba පසුව Juventus සමඟින් එක් වුනා. ඉන් පසුව නැවතත් Manchester United සමඟ එක් වූ Pogba 2022 වර්ෂයේ දී නැවතත් වරක් Juventus වෙත පැමිණියත් එම නැවත පැමිණීමෙන් පසුව ඔහුට සාධනීය කාලයක් තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

එමෙන්ම 2018 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ප්‍රංශ කණ්ඩායමේ ද සාමාජිකයකු වූ Pogbaට ආබාධයක් හේතුවෙන් 2022 පාපන්දු ලෝක අනුශූරතාව දිනා ගත් ප්‍රංශ කණ්ඩායම සමඟ එක් වීමට හැකියාව ලැබුණේ නැහැ.

මේ වන විට 30 හැවිරිදි වියේ පසු වන Pogba ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා සහිත ක්‍රීඩකයකු ලෙස සැලකුනත් නොයෙකුත් අවාසනාවන්ත ආබාධ සහ තවත් ගැටලු හේතුවෙන් ඔහුට සිය ක්‍රීඩා දිවිය නොකඩවා සාර්ථකව පවත්වා ගැනීමට හැකි වුනේ ද නැහැ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<