ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතක

122

චීනයේ ඩොන්ගුවාන් නගරයේදී පැවැත්වෙන සුධිර්මන් කුසලාන ලෝක බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග දෙකින්ම ජය ගනිමින් මේ වනවිට එම කාණ්ඩයේ දෙවැනි තැනට පත්ව සිටී.

ෂී සෙල්ස් සමඟ පැවැති පළමු තරගය තරග වට 4-1කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම කසස්ථානය සමඟ පැවැති කණ්ඩායම් තරගය වට 3-2ක තියුණු ජයක් ලැබීය.

එහිදී ෂී සෙල්ස් සමග පැවැති තරගයේදී අචිනි රත්නසිරි හා තිසර නිම්මික මිශ්‍ර යුගල තරගය 21-16, 24-22ක් ලෙසද, පිරිමි කේවල තරගයේදී දක්‍ෂිත ගුණතිලක 17-21, 21-15, 21-16ක් ලෙස කර්වින් ගිස්ලෙයින් පරාජය කර තිබිණි.

කාන්තා කේවල තරගයේදී ලේඛා ශෙහානි 21-8, 21-2ක් ලෙස ඩැනියෙලී ජුපිටර් පහසුවෙන් පරාජය කරද්දී දක්‍ෂිත ගුණතිලක හා තිසර නිම්මික 21-18, 16-21, 14-21ක් ලෙස ස්ටීව් හා ජෝර්ජි හමුවේ පිරිමි යුගල තරගය පරාජයට පත්විය. එහෙත් තිළිණි ජයසිංහ හා අචිනි රත්නසිරි කාන්තා යුගල තරගය ජයගනු ලැබුවේ 21-18, 21-18 ලෙසිනි.

කසස්ථානය සමඟ පැවැති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර, එහිදී අචිනි හා තිසර මිශ්‍ර යුගල තරගයත්, දක්‍ෂිත හා තිසර පිරිමි යුගල තරගයත්, ලේඛා හා අචිනි කාන්තා යුගල තරගයත් ජයගනිද්දී පිරිමි හා කාන්තා කේවල තරග පරාජය ලබා තිබිණි.

මැයි මස 10 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි පෙළ “බී” කාණ්ඩය යටතේ තරග වදින අතර, ඊශ්‍රාලය, කසස්ථානය හා ෂී සෙල්ස් ශ්‍රී ලංකාව සමඟ එම කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් වෙති.