මෙසී අබිබවා ගිය Haaland වසරේ පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙයි

Globe Soccer Awards 2023

525
Erling Haaland wins men's best football player

ගෙවුණු 2023 වසරේ දී ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා දැක්වූ පාපන්දු ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ඇගයීම උදෙසා පැවැත්වුනු තවත් සම්මාන උළෙලක් වන 2023 Globe Soccer Awards ඊයේ (19) රාත්‍රියේ දී ඩුබායි හිදි අවසන් වුනා. 

මෙම සතිය ආරම්භයේ දී පැවැත්වුණු 2023 FIFA සම්මාන උළෙලේ දී Erling Haaland අබිබවා යමින් වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ Lionel Messi විසින් සම්මාන දිනා ගැනීමත් සමඟින් මෙම Globe සම්මාන උළෙලට ද විශේෂ අවධානයක් යොමු වුනා. 

විශේෂයෙන්ම FIFA සම්මාන උළෙලේ දී Haalandට හිමි විය යුතු සම්මානය Messiට හිමි වූ බවට විවාද කරන පාපන්දු රසිකයින් රැසක් මෙම Globe සම්මාන උළෙල දෙස බලා සිටියේ තම අදහස කෙතරම් නිවැරදි වේද යන්න තහවුරු කර ගැනීමටයි. 

කෙසේ වෙතත් මෙම සම්මාන උළෙලේ දී නම් එම රසික බලාපොරොත්තු ඉටු කරමින් Globe වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා සම්මානය නෝර්වේ ජාතික Erling Haaland හට හිමි වුනා. 

ගෙවුණු වසරේ ඉතා විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ Manchester City කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව බවට පත් වූ Haaland විසින් තරග 53කින් ගෝල 52ක් වාර්තා කිරීමට සමත් වුනා. 

මේ අතර මෙම සම්මානයට Haaland සහ Messiට අමතරව Jude Bellingham, Karim Benzema, Kevin De Bruyne, Kylian Mbappe, Victor Osimhen, Mohamed Salah, Bernardo Silva සහ Vinicius Junior යන ක්‍රීඩකයින්ගේ නම් නිර්දේශ වී තිබුණා. කෙසේ වෙතත් තමන් සම්මාන ලැබූ FIFA සම්මාන උළෙලට මෙන්ම, මෙම Globe පාපන්දු සම්මාන උළෙලට ද Lionel Messi සහභාගී නොවීම විශේෂත්වයක්. 

මෙම Globe පාපන්දු සම්මාන උළෙල 2010 වසරේ පටන් නොකඩවා පැවැත්වෙන අතර මෙහි දී වැඩිම වාර ගණනක් වසරේ ක්‍රීඩකයා සම්මානය ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ Messiගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ Cristiano Ronaldo විසින් වන අතර, ඔහු මීට පෙර මෙම සම්මානය හය වතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. නමුත් සිය පාපන්දු දිවියේ විශිෂ්ටතම තරග කාල සීමාවේ දී පවා Lionel Messi විසින් මෙම Globe විශිෂ්ටතම ක්‍රීඩක සම්මානය ජයග්‍රහණය කර ඇත්තේ එක් වරක් (2015 වසරේ දී) පමණයි. 

ඊයේ පැවැත්වුණු සම්මාන උළෙලේ දී Ronaldo හට විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය හිමි නොවුනත් ඔහු විසින් රසිකයින්ගේ ප්‍රියතම ක්‍රීඩකයා, විශිෂ්ටතම මැදපෙරදිග ක්‍රීඩකයා සහ වසරේ විශිෂ්ටතම ගෝල වාර්තා කරන්නා (Maradona සම්මානය) යන සම්මාන තුනට ම හිමිකම් කීමට හැකියාව ලැබුණා. 

මීට අමතරව ප්‍රදානය කෙරුණු අනෙක් සම්මාන අතුරින් Aitana Bonmatí වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩිකාව, Pep Guardiola හොඳම පුහුණුකරු (Manchester City), Ederson හොඳම දැල් රකින්නා ලෙස සම්මාන දිනා ගත් අතර එම සම්මාන FIFA සම්මාන උළෙලේ දී ද මෙම පිරිස අතරේ ම බෙදී යාම විශේෂත්වයක්. 

මේ අතර එංගලන්තය සහ Real Madrid කණ්ඩායම් නියෝජනය කරන Jude Bellingham වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස ද, ස්පාඤ්ඤය සහ Manchester City නියෝජනය කරන Rodri හොඳම මැද පෙළ ක්‍රීඩකයා ලෙස ද, Manchester City (පිරිමි), Barcelona (කාන්තා) වසරේ හොඳම පාපන්දු ක්‍රීඩා සමාජ ලෙස ද සම්මාන දිනා ගත්තා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර පාපන්දු පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<