ආජන්ටිනාව, චිලී, පැරගුවේ, උරුගුවේ එකට එයි

296

2030 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය දැක්වීම වෙනුවෙන් ආජන්ටිනාව, චිලී, පැරගුවේ, උරුගුවේ යන දකුණු ඇමරිකානු රටවල් එක්ව තරග කරන බව වාර්තා වුනා.

ස්පාඤ්ඤය, පෘතුගාලය මෙන්ම මොරොක්කෝ සහ සෞදි අරාබියත් අදාළ සත්කාරකත්වය දිනා ගැනීම වෙනුවෙන් සිය බර තැබීම් ලබා දී තිබුණා. 2030 තරගාවලිය වන විට පාපන්දු ලෝක කුසලාන තරගාවලියට වසර 100ක් පිරීමට නියමිතයි. මංගල ලෝක කුසලාන තරගාවලිය 1930 දී පැවැත්වුණේ උරුගුවේහි මොන්ටෙවීඩියෝ හිදී යි.

2026 ලෝක කුසලාන තරගාවලිය උතුරු ඇමරිකානු රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාවත්, දකුණු ඇමරිකානු රටක් වන මෙක්සිකෝවත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. එබැවින් 2030 තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීමට දකුණු ඇමරිකා මහාද්වීපයේ උක්ත රටවල් දරන වෙහෙස කුමන ආකාරයෙන් විසඳේවිද යන්න සැකයක්.

“2030 ලෝක කුසලාන තරගාවලිය කියන්නේ තවත් එක් ලෝක කුසලාන තරගාවලියක් නොවෙයි. වසර 100 සැපිරීම වෙනුවෙන් ඊට සුදුසු සැමරුමක් ලැබිය යුතුයි,” දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනයේ සභාපති Alejandro Dominguez (ඇලෙහැන්ද්‍රෝ ඩොමින්ගෙස්) පැවසුවා.

දෙවරක් ලෝක කුසලාන ජය ගෙන ඇති උරුගුවේ රාජ්‍යය මංගල ලෝක කුසලාන තරගාවලියේ දීත් ශූරයන් වුනා. තෙවරක් ලෝක කුසලාන දිනා ඇති ආජන්ටිනාව 1978 දී එහි සත්කාරකත්වය දැරුවා. 1962 දී චිලී රාජ්‍යයත් ලෝක කුසලාන සත්කාරකත්වය දැරුවා.

වත්මන් ලෝක ශූරයන් වන්නේ ආජන්ටිනාව වන බැවින් ඔවුන්ට ද එහි සත්කාරකත්වය ගැන දැඩි බලාපොරොත්තුවක් තිබෙනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<