කොරියාවේ මිනිත්තු අනූවේ ශාපයේ වාසිය ජෝර්දානය ලබා ගනී!

AFC Asia Cup 2024

153

ඊයේ (06) දකුණු කොරියාව සහ ජෝර්දානය අතර පැවැත්වුණු AFC ආසියානු කුසලාන අවසන් පූර්ව තරගයෙන් ගෝල 2-0ක ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට ජෝර්දාන කණ්ඩායම විසින් සමත් වුනා. 

දැනට FIFA ශ්‍රේණිගත කිරීම් හි 87 වැනි ස්ථානයේ පසු වන ජෝර්දානය විසින් ශ්‍රේණිගත කිරීම් හි 23 වැනි ස්ථානයේ රැඳෙන දකුණු කොරියාවට එරෙහිව මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වීම මේ වන විට ලොව පුරා විශේෂ කතාබහකට බඳුන් වෙමින් පවතිනවා. 

මෙම තරගයට දකුණු කොරියානු පසු පෙළ ආරක්ෂාවේ ප්‍රදාන වගකීම දැරූ Kim Min-jae සහභාගී නොවූ* අතර මේ නිසාම ඔවුන්ගේ ආරක්ෂක වලල්ල පෙර මෙන් ශක්තිමත් නොවූ බවක් ද පෙනෙන්නට තිබුණා. 

*.තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ඕස්ට්‍රේලියාව සමඟ තරගයේ දී දෙවැනි කහ කාඩ් පත ද ලැබීම නිසා ඔහුට මෙම තරග තහනම පැනවුනා. 

Kim Min-jae නොමැති වීමේ වාසිය ලබා ගත් ජෝර්දාන් ක්‍රීඩකයින් තරගය ආරම්භයේ පටන් කොරියානුවන්ට ප්‍රබල අභියෝගයක් ලබා දුන් නමුත් පළමු අර්ධ තුළ ඔවුන්ට ගෝල ලබා ගැනීමට නම් හැකියාවක් ලැබුණේ නැහැ. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ 53 සහ 66 වැනි මිනිත්තු වල දී ජෝර්දානය විසින් කොරියානු ආරක්ෂක වලල්ල බිඳ දමින් ගෝල ලබා ගැනීමට සමත් වුනා. 

මින් පසුව කොරියානුවන් ද කෙසේ හෝ තරගයට නැවත පැමිණීමට වටිනා උත්සාහයක් දැරූ නමුත් එය ජෝර්දානය විසින් සාර්ථකව ව්‍යර්ථ කළා. 

තරගයේ අවසන් ලකුණු තත්වය: 

ජෝර්දානය 2 – 0 දකුණු කොරියාව 

ගෝල රැස් කළ ක්‍රීඩකයින්: Y. Al-Naimat 53′, M. Al-Taamari 66′ 

මෙතෙක් තරගාවලිය පුරාවට කොරියාව විසින් බොහෝ තීරණාත්මක තරග ජයග්‍රහණය කළේ තරගයේ මුල් මිනිත්තු 90 පසු කිරීමෙන් පසුවයි. 

කණ්ඩායම් 16 වටයේ දී සෞදි අරාබිය සමඟ තරගය පරාජය වීමට ඉතා ආසන්න අවස්ථාවක තරගයේ 99 වැනි මිනිත්තුවේ දී Cho Gue-sung විසින් සාර්ථක කර ගත් දඬුවම් පහර නිසා, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් ලද දකුණු කොරියාව, අර්ධ අවසන් පූර්ව වටයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයේ 96 සහ 104 මිනිත්තු වල දී ගෝල රැස් කරමිනුයි තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ. 

එමෙන්ම තරගාවලියේ මූලික වටයේ දී ජොර්දානය සමඟ පැවැත්වුණු තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට කොරියානුවන්ට හැකියාව ලැබුණේ තරගයේ 91 වැනි මිනිත්තුවේ දී ජෝර්දානයෙන් ම වාර්තා වූ Own Goal එකක් නිසායි. 

කෙසේ වෙතත් මෙම තරගයේ දී නම් දකුණු කොරියාවට මිනිත්තු අනූවෙන් පසු නැවත තරගයට අවතීර්ණ වීමේ වාසනාව හිමි වුනේ නැහැ. ඒ අනුව සිය ආසියානු කුසලාන ඉතිහාසයේ පළමු අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට ජෝර්දානයට අවස්ථාව උදා වුනා. 

එමෙන්ම 1956 වර්ෂයේ දී ආරම්භ වූ මෙම AFC ආසියානු කුසලාන තරගාවලියට ජෝර්දානය මෙතෙක් සහභාගී වී ඇත්තේ අවස්ථා 5ක දී පමණයි. ඒ අතුරින් 2004 සහ 2011 වර්ෂ වල දී අර්ධ අවසන් පූර්ව වටය තෙක් පැමිණීමට හැකි වූ ජෝර්දානය දැන් මෙම තරගාවලි ඉතිහාසයේ සිය හොඳම දක්ෂතාව ද සමඟින් අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා සිටිනවා. 

ඒ අනුව ඔවුන් අද (07) පැවැත්වීමට නියමිත අනෙක් අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය ලබනා කටාර් හෝ ඉරාන කණ්ඩායම සමඟින් එළඹෙන සෙනසුරාදා (10) ශූරතාව වෙනුවෙන් සටන් වදිනු ඇති. 

“ක්‍රීඩකයින් විශිෂ්ට දස්කම් දැක්වුවා. දකුණු කොරියාවට අවශ්‍ය ගෞරවයට වඩා වැඩියෙන් ගෞරව කරන්න අපිට අවශ්‍ය නොවීම තමයි ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය (X- Factor) වුනේ. 

අවසන් තරග කිහිපයේ ඔවුන්ගේ වාර්තා මත පදනම් වී අපි දැන ගෙන සිටියා ඔවුන්ට එරෙහිව ගෝල ලබා ගත හැකි බව. එය තමයි හැරවුම් ලක්ෂය වුනේ.” 

තරගයෙන් අනතුරුව ජෝර්දාන් පුහුණුකරු Hussein Ammouta එසේ ප්‍රකාශ කළා. 

AFC ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<