ශ්‍රී ලංකා බොක්‌සිං පුහුණුකරු තනතුරට ඇමරිකාවේ ජෝ ක්‌ලෝස්‌ ගෙන්වයි

105

ශ්‍රී ලංකා බොක්‌සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග ජය ගැනීමේ අරමුණ පෙරදැරිව ජාතික ආධුනික බොක්‌සිං සංගමය විසින් ඇමරිකාවේ අංක එකේ පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමට කටයුතු කර තිබේ.

 

ඇමරිකාවේ විශිෂ්ට ගණයේ බොක්‌සිං ශූරයකු මෙන්ම ජාත්‍යන්තර ප්‍රසාදය දිනූ පුහුණුකරුවකු වන 72 හැවිරිදි ජෝ ක්‌ලෝස්‌ ලබන මස 4 වැනිදා සිට ශ්‍රී ලංකා බොක්‌සිං කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාරගැනීමට නියමිතව තිබේ. ඒ අනූව මෙතෙක්‌ ශ්‍රී ලංකා පිරිමි කණ්‌ඩායමේ පුහුණුකරුවකු වූ කියුබානු ජාතික ෙµ්‍රdමේතා මාකෝස්‌ ජාතික කාන්තා බොක්‌සිං කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස පත්කොට තිබේ.

නව පුහුණුකරු ජෝ ක්‌ලෝස්‌ 1979 වසරේ සිට 1981 වසර දක්‌වා ඇමරිකානු ජාතික බොක්‌සිං කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු තෙවතාවකදීම(1972, 1976 සහ 1977) ඇමරිකාවේ වසරේ බොක්‌සිං පුහුණුකරු ලෙසද සම්මාන දිනා ගෙන තිබේ. මීට අමතරව ක්‌ලෝස්‌ පිලිපීනය, තායිලන්තය, මැලේසියාව සහ නේපාලය යන ජාතික කණ්‌ඩායම්වල පුහුණුකරුවකු ලෙසද කටයුතු කොට තිබේ.

ආධුනික බොක්‌සිං සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 57 දෙනකු සංචිත ගතකොට ඇති අතර එහිදී පිරිමි ක්‍රීඩකයන් 32 ක්‌ සහ ක්‍රීඩිකාවන් 25 ක්‌ වශයෙන් සංචිතවලට ඇතුළත් වේ.