මොරටුව හා පේරාදෙණිය ක්‍රීඩකයින් ජයග්‍රාහීව සතිය නිමා කරයි

280

කොළඹ විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලියේ මූලික වටයේ තරග දෙකක් ඊයේ (19) ක්‍රියාත්මක වූ අතර එම තරග ද්විත්වයෙන් මොරටු විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කරන ලදි.

කොළඹ හා ජ’පුර විශ්ව විද්‍යාල රග්බි පිටිය දෙවනත් කරයි

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන සිසුන්ගේ සැඟවුණු දක්ෂතා වර්ධනය කිරීමේ …

කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති මේ තරගවල දී මොරටුව විශ්ව විද්‍යාලය හමුවේ කැලණිය විශ්ව විද්‍යාලය ලකුණු 31-15ක් ලෙස ජය ලබා ගත් අතර අනෙක් තරගයෙන්  ලකුණු 26-03ක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලය පරාජය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමත් විය.

කොළඹ විශ්ව විද්‍යාලය හා කැලණිය විශ්ව විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මේ තරගය සඳහා ජවසම්පන්න ලෙස අවතීර්ණ වූ මොරටුව ක්‍රීඩකයින් හා කැලණිය ක්‍රීඩකයින් අතරින් ප්‍රථම විනාඩි 6 ගත වන තෙක් කිසිවෙකුට ලකුණක් වාර්තා කිරීමට නොහැකි විය. කෙසේ නමුත් ඉතාමත් දක්ෂ අයුරින් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ව නොතකමින් ඉදිරියට ඇදුණු කැලණිය ක්‍රීඩකයෙක්ව අවදානම් ලෙස වැළැක්වීම නිසා ඔවුන් වෙත දඬුවම් පහරක් ලැබුණු අතර එම්. ජී. එස්. මයුරංග එම අවස්ථාව පහසුවෙන්ම සාර්ථක කරගත්තේය. (මොරටුව 00–03 කැලණිය)

එහි උණුසුම මැකී යන්නට මත්තෙන් කැලණිය කණ්ඩායමේ විහිදුම් විලාසයේ අඩුපාඩුවකින් ප්‍රයෝජනය ගත් මොරටුව සරසවි ක්‍රීඩක චන්දිමාල් මාඹුලගේ තරගයේ 13 වැනි මිනිත්තුවේ දී උපායශීලීව උත්සාහක දිනුමක් වාර්තා කළ අතර අනුජ් වීරකෝන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (මොරටුව 07–03 කැලණිය)

තරග ආරම්භයේ පටන්ම සුපිරි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ කැලණිය ක්‍රීඩක ඩී. සී. මල්ලවආරච්චි හා මයුරංග මොරටුව කණ්ඩායමට දැඩි හිසරදයක් වන්නට විය. ඔවුන් දෙදෙනා කණ්ඩායමේ සිය සඟයින්ගේ ද සහය ඇතිව ආක්‍රමණශීලී තරග රටාවකට අනුගත විය.

මේ අතරවාරයේ තරගයේ 20 වැනි මිනිත්තුවේ දී එක් වරම මොරටුව ක්‍රීඩකයින්ව අන්දමන්ද කරමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඩී. සී. මල්ලවආරච්චි සමත් වූ අතර එහි ප්‍රවර්තනය ලබා ගැනීමට මයුරංග හට හැකි විය. තරගයේ 25 වැනි මිනිත්තුවේ දී වී. ඩබ්. ගුණවර්ධන මොරටුව කණ්ඩායම තරගයේ පෙරමුණේ තබමින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගන්නා ලදි. (මොරටුව 12–08 කැලණිය)

මහනුවර ක්‍රීඩකයෝ ජාත්‍යන්තර ශූරතාවකට ඉව අල්ලයි

“ආසියානු රග්බි බටහිර ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය” මෙවර ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට …

මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ ඩබ්. වී. සුරසිංහ හා අනුජ් වීරකෝන් තම කණ්ඩායමේ ඉදිරිය උදෙසා මහත් කැපවීමෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. එය මල් ඵල ගන්වමින් තරගයේ 27 වැනි මිනිත්තුවේ දී සිය නමට ඉදිරියෙන් උත්සාහක දිනුමක් සලකුණු කරගැනීමට සුරසිංහ සමත් වෙද්දී එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අනුජ් සමත් විය. (මොරටුව 19–08 කැලණිය)

පළමු අර්ධය නිමා වීමට ආසන්න වත්ම තරගයේ උද්වේගකර බව වැඩි වූ නිසා අපරීක්ෂාකාරී වූ දෙපිළේම ක්‍රීඩකයින් විසින් නීති විරෝධී ක්‍රීඩා රටාවන් අනුගමනය කිරීමේ සිද්ධීන් දැක ගන්නට ලැබුණි. පළමු අර්ධයේ අවසාන මිනිත්තුවේ (30 වැනි මිනිත්තුවේ) නැවතත් ක්‍රියාත්මක වූ කැලණිය ක්‍රීඩක එස්. කේ. මාතොට ආරච්චි උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්තනය මයුරගේ පාදයෙන් වාර්තා විය. (මොරටුව 19 – 15 කැලණිය)

පළමු අර්ධය: මොරටුව විශ්ව විද්‍යාලය 19 – 15 කැලණිය විශ්ව විද්‍යාලය

මිනිත්තු 5ක විවේක කාලයකින් පසුව ආරම්භ වූ දෙවන අර්ධයේ ද කැලණිය ක්‍රීඩකයින්ගෙන් දිස් වූයේ එතරම් නැවුම් බවක් නොවේ. එයින් උපරිම ඵල ප්‍රයෝජනය ලබාගත් මොරටුව ක්‍රීඩක වී. විදුශාන් තරගයේ 35 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගත් අතර  එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මොරටුව 24–15 කැලණිය)

එම උත්සාහක දිනුමට පසුව මොරටුව ක්‍රීඩකයින් නව ජවයක් සිය රිද්මයට එකතු කරගෙන ක්‍රීඩා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තරගයේ 42 වැනි මිනිත්තුවේ දී එස්. එච්. එන්. ආරච්චි සිය කණ්ඩායමේ 5 වැනි උත්සාහක දිනුම සාර්ථක කර ගන්නා ලදි. වී. ඒ. එස්. එස්. ජයරත්න එහි ප්‍රවර්තනය ලබා ගත්තේය. (මොරටුව 31–15 කැලණිය)

සම්පූර්ණ කාලය අවසානයේ: මොරටුව විශ්ව විද්‍යාලය 31 (5T, 3C) – 15 (1T,2C, 1P) කැලණිය විශ්ව විද්‍යාලය

ලකුණු ලබා ගැනීම,

  • මොරටුව විශ්ව විද්‍යාලය (31): චන්දිමාල් මාඹුලගේ 1T, අනුජ් වීරකෝන් 2C, වී. ඩබ්. ගුණවර්ධන 1T, ඩබ්. වී. සුරසිංහ 1T, වී. විදුශාන් 1T, එස්. එච්. එන්. ආරච්චි 1T, වී. ඒ. එස්. එස්. ජයරත්න 1C
  • කැලණිය විශ්ව විද්‍යාලය (15): එම්. ජි. එස්. මයුරංග 2C, 1P, ඩී. සී. මල්ලවආරච්චි 1T,  එස්. කේ. මාතොට ආරච්චි 1T,

පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සබරගමුව විශ්ව විද්‍යාලය

ඊයේ දිනයේ දෙවන තරගය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී  පැවති මේ තරගය A කාණ්ඩයේ තරගය විය.

නැවුම් මුහුණුවරකින් පිටියට පිවිසි කණ්ඩායම් දෙකම තරගයේ පළමු මිනිත්තුවේ පටන් සටන්කාමී ඉරියව්වකින් ක්‍රීඩා කළ අතර ජයග්‍රහණය කුමන අතට දෝලනය වේ දැයි  සැක මතුවන ආකාරයට එය ගලා යන්නට විය.

තරගය ආරම්භව මිනිත්තු 6ක් ගත වීමට මත්තෙන් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට පේරාදෙණිය සරසවි කණ්ඩායමේ දීලක ආරියරත්න සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඉෂාර විශ්වජිත් හට හැකි විය. එම ඉක්මන් ලකුණු ලබා ගැනීම නිසා සබරගමුව කණ්ඩායමට යම් තිගැස්සීමක් ගෙන දෙන්නට වූ බවක් පෙනුණි. (පේරාදෙණිය 07–00 සබරගමුව)

කෙසේ වුවත් පිටියේ දී කණ්ඩායම් දෙකෙහිම දක්නට ලැබුණු තාක්ෂණික භාවිතයන් ඉහළ මට්ටමක තිබුණි. එකිනෙකාට නොදෙවෙනි ලෙස ක්‍රීඩා කළ ඔවුන් අතරින් පේරාදෙණිය කණ්ඩායමේ සසංක වීරකෝන් හා දීලක ආරියරත්න කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරන ලදි. ඔවුන් දෙදෙනා විසින් ධවල රේඛාව අසලට ගෙන ආ පන්දුව ඒ මත පතිත කිරීමට වරම් දිනා ගත්තේ සසංක වීරකෝන් ක්‍රීඩකයායි. විශ්වජිත් එහි සම්පූර්ණ ලකුණ සිය කණ්ඩායම එකතු කරන්නට සමත් වුනේ එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගෙනයි. ඒ වන විට තරගයේ මිනිත්තු 9ක් පමණක් ගත වී ගොස් තිබුණි. (පේරාදෙණිය 14–00 සබරගමුව)

ගියවර අනුශූර මොරටු ක්‍රීඩකයෝ මෙවර ශූරතාවය වෙනුවෙන් කැපවෙති

පාසල් රග්බි පිටිය හා ක්‍රීඩා සමාජ පිටිය සේම අද වන විට විශ්ව විද්‍යාල පිටිය ද ජාත්‍යන්තරය ජය …

තරගයේ 23 වැනි මිනිත්තුවේ දී තම කණ්ඩායම වෙනුවෙන් පළමු ලකුණ දඬුවම් පහරක් මඟින් වාර්තා කිරීමට සබරගමුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ සෝජිත් ධනුෂ්ක සමත් විය. (පේරාදෙණිය 14–03 සබරගමුව)

පළමු අර්ධය: පේරාදෙණිය විශ්ව විද්‍යාලය 14 – 03 සබරගමුව විශ්ව විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීම නිසා තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට පේරාදෙණිය කණ්ඩායම සමත් විය. ක්‍රීඩකයින්ගේ රෞද්‍ර ක්‍රීඩා විලාසය මනාවට පෙනුණු මේ තරගයේ දෙපිළේම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කහ කාඩ් පත් නිකුත් කෙරුණි. තරගයේ 38 වැනි මිනිත්තුවේ දී සිය ජවය පා මතට ලබා දුන් දීලක ආරියරත්න මේ තරගයේ ඔහු විසින් ලබාගත් දෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය. (පේරාදෙණිය 19–03 සබරගමුව)

තරගයේ 42 වැනි මිනිත්තුවේ දී අරෝෂ ජයතිලක මේ තරගයේ වාර්තා වූ සිව්වැනි උත්සාහක දිනුම සිය නම ඉදිරියෙන් ලියා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායමට තරගයේ වැඩි වාසිය හිමිකර දෙමිනි. හසන්ත ඒකනායක එහි ප්‍රවර්තනය සාර්ථක කර දෙන ලදි. (පේරාදෙණිය 26–03 සබරගමුව)

සම්පූර්ණ කාලය අවසානයේ: පේරාදෙණිය විශ්ව විද්‍යාලය 26 (4T, 3C) – 03 (1P) සබරගමුව විශ්ව විද්‍යාලය

ලකුණු ලබා ගැනීම,

  • පේරාදෙණිය විශ්ව විද්‍යාලය (26): දීලක ආරියරත්න 2T, ඉෂාර විශ්වජිත් 2C, සසංක වීරකෝන් 1T, අරෝෂ ජයතිලක 1T, හසන්ත ඒකනායක 1C.
  • සබරගමුව විශ්ව විද්‍යාලය (03): සෝජිත් ධනුෂ්ක 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<