ශ්‍රී ලංකා පන්දු යවන්නියන් යළි සාර්ථක වෙයි

258
Asia cup 2016 sri lanka womens v thailand womens

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තුන්වන තරගය අද (30) තායිලන්තයට එරෙහිව බැංකොක් නුවර ආසියානු තාක්ෂණික ආයතන ක්‍රීඩාංගණයේදී පැවැති අතර ලකුණු 75කින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: පහසු තරගයකින් ශ්‍රී ලංකා කාන්තාවට වාර්තා ගත ජයක්

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා හසිනි පෙරේරාගේ තීරණය වූයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 120 ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්විය.

මෙහිදී නායකත්ව ඉනිමක්  ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබා ගැනීමට හසිනි පෙරේරා සමත් වූ අතර පන්දු 59ක් තුළ හතරේ පහර 3ක් සමඟින් ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව 55ක්. හසිනි පෙරේරා හට අගනා සහයක් ලබා දෙමින් පන්දු 36කදී හතරේ පහර 3ක් ද සමඟින් ලකුණු 31කින් කණ්ඩායම ශක්තිමත් කිරීමට චමරි අතපත්තු සමත් වුවාය. පන්දු යැවීමේදී සයිනැමින් සයින්යා ලකුණු 26කට කඩුලු 3ක් ලබා ගත්තාය.

ලකුණු 121ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි තායිලන්ත ආරම්භක පිතිකාරිනියන් හට ප්‍රබල පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පන්දුවාර 6ක් තුළ ලකුණු 10කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

මෙහිදී තායිලන්තය වෙනුවෙන් ලකුණු 10 සීමාව පසු කිරීමට හැකිවූ එකම ක්‍රීඩිකාව වූයේ චනිදා සුත්තිරුන්ග හට පමණක් වන අතර ඇය පන්දු 10ක් තුළ හතරේ පහර 2 සමඟින් ලකුණු 12ක් ලබා ගත්තාය. ඒ හැරෙන්නට අනෙකුත්  සෙසු සියලු පිතිකාරිනියන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අවස්ථාව ලබා නොදුන් අතර පන්දුවාර 20 අවසානයේ තායිලන්ත කණ්ඩායමට ලබාගත හැකි වුයේ කඩුලු 9කට ලකුණු 45ක් පමණි.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී ලකුණු 8කට කඩුලු 3ක්ද ඉනෝකා රණවීර ලකුණු 4කට කඩුලු 3ක්ද ලබා ගැනීමට සමත්විය.

තරග සාරාංශය

ශ්‍රී ලංකාව – කඩුලු 6 දැවී ලකුණු 120 (පන්දුවාර 20) : හසිනි පෙරේරා 57, චමරි අතපත්තු 31,එෂානි ලොකුසූරිය 9*, සයිනැමින් සයින්යා 3/26.

තායිලන්තය – කඩුලු 9 දැවී ලකුණු 45 (පන්දුවාර 20) : චනිදා සුත්තිරුන්ග 12, උදේශිකා ප්‍රබෝධනී 3/8,  ඉනෝකා රණවීර ¾

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට