රන් සටනේ පළමු දිනයේ වැඩි වාසි පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට

71st Battle of the Golds

238
71st Battle of the Golds

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 71 වැනි වරට පැවැත්වෙන රන් සටන මහා ක්‍රිකට් තරගය අද (28) උදෑසන මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුනේ මොරටු මහා විද්‍යාලයීය නායක සුඛිත දෙව්තිළිණ විසින් වන අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.

ඒ අනුව මොරටු විද්‍යාලය වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට විහඟ නිම්සර සහ ශෙහාර සංදේශ් පිටියට පිවිසුනත්, ඉනිමට ලකුණු 10ක් එක් වන විට ශෙහාරගේ ඉනිම නිමා කිරීමට සුමංගල විද්‍යාලයේ රසික දිල්ශාන් විසින් සමත් වුනා.

ඉන්පසුව විහඟ සමඟ පිටියේ එක් වූ දෙනෙත් සිතුමිණ විසින් තරමක් හොඳ සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමට උත්සාහ කළත්, විහඟ ලකුණු 19ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීමෙන් පසු ලකුණු 47ක දී මොරටු විද්‍යාලයේ දෙවැනි කඩුල්ල ද බිඳ වැටුණා.

එතැනින් පසුව කිසිදු මොරටු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වෙමින් ලකුණු ලබා ගැනීමට සුමංගල විද්‍යාලයේ පන්දු යැවීමේ බලඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

විහඟ සහ දෙනෙත් ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 37ක සබඳතාවට අමතරව ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාව වුනේ ඉසුරු නිදර්ශන සහ තුශාන් නිමන්ත විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු 43ක සබඳතාවයි.

එම සබඳතාවට සම්බන්ධ වූ තුශාන් නිමන්ත ලබා ගත් ලකුණු 24 මොරටු ඉනිමේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වීම මඟින් ම මොරටු විද්‍යාලය අද පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හමුවේ ලද අසාර්ථකත්වය මනාවට පිළිබිඹු කරනවා.

මොරටු විද්‍යාලයීය ඉනිමේ 56 වැනි පන්දුවාරයේ දී ඉමල්ක ප්‍රනාන්දු විසින් පිට පිට ම පන්දු දෙකක දී හේශාන් ඉසුරු සහ කවිශ්ක ඔෂාන්ගේ කඩුලු දවා ගනිමින් මොරටු ඉනිම නිමා කර දැමීමට සමත් වන විට ඔවුන් රැස් කර ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 144ක් පමණයි.

මෙහි දී සුමංගල විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කණ්ඩායම් නායක විශ්ව ලහිරු ලකුණු 38 කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඉමල්ක ප්‍රනාන්දු විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඉන්පසුව මොරටු විද්‍යාලයේ පළමු ඉනිමට පිළිතුරු ලබා දීමට පිටියට පිවිසි පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ද බලාපොරොත්තු වූ තරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට මොරටු විද්‍යාලයේ පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ.

සුමංගල ඉනිමට එක් ලකුණක් පමණක් එක් ව තිබිය දී පළමු කඩුල්ල ලෙස ක්‍රිශාන් එරංගව දවා ගැනීමට මොරටු නායක සුඛිත දෙව්තිළිණ විසින් සමත් වූ අතර, ඉන් සුළු මොහොතකට පසුව තරගයට අඳුරු අහසෙන් බාධා එල්ල වුනා.

සුමංගල පිතිකරුවන්ට අද දිනයේ දී ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 5 පන්දු 2 කට පමණක් වන අතර, අඳුරු ආලෝක තත්වය නිසා අද දිනයට තරගය නතර කරන විට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් රැස් කර ගැනීමට සමත් වී තිබුණා.

ඒ වන විට සුමංගල විද්‍යාලය වෙනුවෙන් දුරංක සිල්වා සහ සචිර ඩේමියන් නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම 144/10 (55.3): තුශාන් නිමන්ත 24, ඉසුරු නිදර්ශන 22, විශ්ව ලහිරු 4/38, ඉමල්ක ප්‍රනාන්දු 2/3

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු ඉනිම 5/1 (5.2): දුරංක සිල්වා 3*, සචිර ඩේමියන් 1*, සුඛිත දෙව්තිළිණ 1/1

තරගයේ දෙවැනි සහ අවසන් දිනය හෙට (29) පැවැත්වීමට නියමිත අතර, එම තරගයේ මෙන් ම දේශීය විද්‍යාලාන්තර ක්‍රිකට් තරග පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<