වර්ෂාවෙන් තරගයට බාධා වෙද්දී ශ්‍රී ලංකා A පිතිකරණය දියාරු වෙයි

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

301
SLAvPAKA

ශ්‍රී ලංකා A හා පාකිස්තානු A ක්‍රිකට් කණ්ඩායම් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගය අද (28) මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

වර්ෂාව නිසා දිනය අතරමග අතහැර දමන විට ශ්‍රී ලංකා A කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6කට ලකුණු 61ක් රැස් කරගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩයම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කරන්නට පිටියට පිවිසුණේ කමිල් මිෂාර හා ලහිරු උදාරයි.

ඔවුන් දෙදෙනාගේ ආරම්භක සබඳතාව ලකුණු 36කට සීමා කරමින් ලහිරු උදාර ලකුණු 23කට ආපසු ක්‍රීඩාගාරයට හරවා යවන්නට Irfanullah Shah සමත් වුනා. ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකුට පිටියේ ස්ථාවර වීමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

දෙවැනි කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු දැවී යන විට ඔහු ලකුණු 12ක් රැස් කරගෙන සිටියා. ඕෂධගේ දැවී යාමත් සමඟ ක්‍රියාත්මක වූ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පිට එකා ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වුනේ ලකුණු 7ක් තුළ කඩුලු 5ක් දවා ගනිමිනුයි.

නායක සදීර සමරවික්‍රම හා නුවනිඳු ප්‍රනාන්දු එක් ලකුණකට ක්‍රීඩාගාරයට හරවා යවන්නට Khurram Shahzad සමත් වුනා.

ලසිත් අබේරත්න ලකුණු තුනකට දැවී යද්දී වර්ෂාවට පෙර යැවූ අවසන් පන්දුවෙන් ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිස පන්දු 59කින් ලකුණු 20ක් රැස් කළ කමිල් මිෂාර දවා ගන්නට Naseem Shah සමත් වුනා. නොදැවී පන්දුවට පහර දෙන සුමින්ද ලක්ෂාන් පන්දු තුනක දී එක් ලකුණක් රැස් කරගෙන සිටියා.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න << 

දිනය පුරා වරින් වර ඇදහැළුණු වර්ෂාව නිසා තරගයේ ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දුවාර 22ක් පමණයි.

පන්දු යැවීමේ දී Naseem Shah ලකුණු 27කට කඩුලු 3ක් බිඳ හෙළන්නට සමත් වූ අතර Khurram Shahzad ලකුණු 8කට කඩුලු දෙකක් බිඳ දැමුවා. Irfanullah Shah ලකුණු 26කට එක් කඩුල්ලයි.

තරගයේ දෙවැනි දිනය හෙටයි (29).

  • ශ්‍රී ලංකා කණ්ඩායම – කමිල් මිශාර, ලහිරු උදාර, ඕෂධ ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, ලසිත් අබේරත්න, සුමින්ද ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, විශ්ව ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය
  • පාකිස්තාන කණ්ඩයම – Saud Shakeel (නායක), Abdullah Shafique, Omair Yousuf, Usman Salahuddin, Kamran Ghulam, Qasim Akram, Mohammad Haris, Zahid Mahmood, Naseem Shah, Irfanullah Shah, Khurram Shahzad

පළමු දිනය අවසානයේ ලකුණු සටහන

ශ්‍රී ලංකා A පළමු ඉනිම – 61/6 (22 ov): කමිල් මිෂාර 20, ලහිරු උදාර 23, Naseem Shah 3/27, Khurram Shahzad 2/8

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සුදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<