සුපිරි ක්‍රීඩකයින් 4 දෙනෙක් Jaffna විසින් රඳවා ගනී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

313

පසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කිරුළ දිනූ ජයග්‍රාහී යාපනය කණ්ඩායමෙන් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියට පෙර දේශීය ක්‍රීඩකයින් සිව්දෙනෙකු රඳවා තබා ගැනීමට Jaffna Kings කණ්ඩායමට අවස්ථාව හිමි වේ.

ඒ අනුව පසුගිය (LPL) තරගාවලියේ ජයග්‍රාහී යාපනය කණ්ඩායමේ නියමුවා වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මෙවර ද Jaffna Kings කණ්ඩායමේ නායකත්වය උසුලන බව මේ වන විටත් නිල වශයෙන් නිවේදනය කර ඇති අතර ඔහු ද ඇතුළුව Jaffna Kings කණ්ඩායම රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් සිව්දෙනා වන්නේ තිසර පෙරේරා, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු සහ මහේෂ් තීක්ෂණයි.

පසුගිය (2020) ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ‘යාපනය කණ්ඩායම’ ශූරතාව කරා මෙහෙය වූයේ තිසර පෙරේරාගේ විශිෂ්ට නායකත්වයෙනි.

Jaffna Kings කණ්ඩායමේ දේශීය ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ මූලික රඳවා ගැනීම් අතර ඉහළින්ම සිටින ඔහු, ජාත්‍යන්තර ‘T20’ තරග බිමේ තරග රැසක ක්‍රීඩා කළ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකි.

පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් යන තුන් ඉරියව්වෙන් ම ලෝක මට්ටමෙන් දස්කම් දක්වන සුපිරි ක්‍රීඩකයකු ලෙස සැලකෙන තිසර, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) සහ පකිස්තාන සුපර් ලීග් (PSL) ඇතුළු ලීග් තරගාවලි ගණනාවක් සඳහා ලොව පුරා T20 තරග රැසක ක්‍රීඩා කර ඇත.

ඔහු එක්දින සහ T20 යන ජාත්‍යන්තර තරග දෙකේ දී ම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ලොව දෙවැනි ක්‍රීඩකයා වේ. 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී යාපනය කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා තීරණාත්මක ඉනිම් කිහිපයක දී ඔහු දැක්වූ දක්ෂතාවය සුවිශේෂී වෙයි.

පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේ දී පන්දු 14කට ලකුණු 30ක් වාර්තා කරමින් යාපනය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම වෙනුවෙන් තිසර පෙරේරා සුවිශාල භූමිකාවක් ඉටු කරනු ලැබීය.

තිසර පෙරේරා පිත්තෙන් දස්කම් පෙන්වූ ආසන්නතම අවස්ථාව ලෙස ඊයේ (2021.10.27) Army Sports Club නියෝජනය කරමින් පැවති තරගයේ දී (Major Club 50-Over Tournament)පන්දු 29කට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 60ක් වාර්තා කිරීම දැක්විය හැකිය.

ජාත්‍යන්තර T20 ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය හිමි කර ගත් පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංගය.

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ එකම ලාංකික ක්‍රීඩකයා වන්නේ ද වනිඳුය. පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් (LPL)  හි තරගාවලියේ වීරයා බවට පත් වූ වනිදු, එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වූයේ කඩුලු 17ක් අත්පත් කර ගනිමින් ය.

ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරමින් පිට පිට කඩුලු තුනක් දවා ගනිමින් එක්දින ක්‍රීඩා ඉතිහාසයේ මංගල ඉනිමේ දී  කඩුලු ත්‍රිත්වයක් රැස් කළ තෙවැනියා බවට පත් විය.

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වඩාත්ම බලාපොරොත්තු තැබූ ක්‍රීඩකයා බවට පත් වූ වනිඳු මෙවර ලංකා ප්‍රිමියර් ලීග් හි Jaffna Kings කණ්ඩායමේ ද ප්‍රබල අපේක්ෂාවක් බවට පත්ව තිබේ. එමෙන්ම ඔහු මේ වන විට T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා අති සාර්ථක ලෙස ක්‍රීඩා කරමින් සිටියි.

ලංකා ප්‍රිමියර් ලීග් හි ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය තරග කිහිපයකම මුල්පෙළ පිතිකරුවෙකු ලෙස සුවිශේෂී දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි.

පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයක දී ලකුණු 118ක් ලබා ගන්නා අවිශ්ක මෙම වසරේ ඉන්දියාව සමඟ පැවති තරගයේ දී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් විය. ධනාත්මක පිතිහරඹ රටාව නිසාම ලොව පුරා විචාරකයින්ගේ ඇගයීමට ලක් වූ අවිශ්ක පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් පස්දෙනා අතර සිටියි. ඒ නිසාම ඔහුව හැඳින්වූයේ තරග ජයග්‍රහණය කරා රැගෙනයන්නා ලෙසයි.

දකුණත් දඟපන්දු යවන්නකු ලෙස මේ වන විට ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්ව සිටින මහේෂ් තීක්ෂණ ජාත්‍යන්තර තරගයක දී සිය පළමු පන්දුවේ දී ම කඩුල්ලක් ලබා ගත් අතළොස්සක් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක් වූ ක්‍රීඩකයෙක් වන අතර ඔහු සිය මංගල තරගයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවුම් බලාපොරොත්තුවක් බවට පත් වීමට සමත් විය.

පසුගිය LPL තරගාවලිය අවසන් වූ වහාම මහේෂ් තීක්ෂණ අබුඩාබි T10 සඳහා කැඳවනු ලැබීය. විශ්මයජනක පන්දු යවන්නා (mystery spinner) ලෙසින් දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා සිටින තීක්ෂණ මෙවර ද Jaffna Kings කණ්ඩායමේ ඉහළම බලාපොරොත්තුවක් බවට පත්ව සිටියි.

මෙම දේශීය ක්‍රීඩකයන්ට අමතරව Jaffna Kings නියෝජනය කිරීම සඳහා කල්තියාම නම් කරනු ලැබූ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ද වෙයි. එම ක්‍රීඩකයන් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරළිකරුවන් වන Faf du Plessis සහ Wahab Riaz ය.

ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩක  du Plessis Jaffna Kings කණ්ඩායමේ විදේශීය Icon player ලෙසත්, පකිස්තානු ක්‍රීඩක Wahab Riaz විදේශීය Diamond player ලෙසත් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් සටනට එක් වනු ඇත.

ප්‍රථම වරට සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර ජෛව ආරක්‍ෂිත බුබුළක් තුළ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගත්තේ Jaffna Stallions කණ්ඩායමයි.

LPL තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් මස 5 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ සහ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<