ශ්‍රී ලංකාව තෙවැනි වටයේ දී චීනය අන්දමන්ද කරයි

3720

2019 ආසියානු 23න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලියේ අද (10) චීනය සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ තරග වට 3-1ක් ලෙසයි. තරගාවලිය මේ වන විටත් මියන්මාරයේ දී පැවැත්වේ. 

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ සුපිරි 8

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතාවයේ තෙවැනි දිනයේ දී (5) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව….

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පළමු වටයේ තරග හොඳින් ක්‍රීඩා කරනු ලැබූවත්, දෙවන වටයේ තරගවල දී යම් පසුබෑමකට ලක්විය. අද පැවති තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වැදගත් වූයේ තරගාවලියේ සිව්වැනි සහ පස්වැනි ස්ථානවල රැඳී සිටීමට නම් මෙම තරගය ජයග්‍රහණය කිරීමට අනිවාර්ය වීම හේතුවෙනි. 

මෙම තරගාවලිය තුල දක්ෂ ලෙස ක්‍රීඩා කළ කණ්ඩායමක් වන චීන කණ්ඩායම සමඟ තරග කිරීම ශ්‍රී ලංකාවට යම් අභියෝගයක් විය. මින් පෙර ජපානය සමඟ පැවති තරගය ද 3-0ක් ලෙස පරාජය වෙමින් ශ්‍රී ලංකාව මෙම තරගය සඳහා සහභාගී විය. 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් අද තරගයේ පළමු වටයේ ආරම්භයේ පටන් චීන ක්‍රීඩකයන්ට දැඩි සටනක් ලබා දීමට සමත් වූ අතර ඇතැම් අවස්ථාවල දී චීනය පසුකර යෑමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. අවසානයේ දී ප්‍රබල චීන ක්‍රීඩකයන් ලකුණු දෙකක තියුණු පරතරයක් සමඟින් 25-23ක් ලෙස එම වටය ජයග්‍රහණය කරන්නට සමත් විය.. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙවන වටයේ දීත් චීනය සුළුවට සිතා ක්‍රීඩා නොකළ නමුත් තරගය ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් සිදු වූ යම් යම් අතපසු වීම් හේතුවෙන් චීනය එම වටයේ පෙරමුණ ගැනීමට සමත් විය. තරගය අවසන් භාගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවතත් චීනයේ ලකුණු ආසන්නයට පැමිණියත් ප්‍රතිවාදීන් විසින් 25-21ක් ලෙස එම තරග වටය ජයග්‍රහණය කරන්නට හැකි විය.

කෙසේ නමුත් වඩාත් තීරණාත්මක තෙවැනි වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රතිවාදීන් මෙල්ල කරන්නට සමත් වූ අතර වේගවත් ප්‍රහාර රැසකගෙන් තෙවැනි වටය වර්ණවත් කරන්නට කවිඳු පබසර සමත් විය. චීනය නොසිතූ විදිහට එම තරග වටය ලකුණු දෙකකින් ජය ගත්තේ ශ්‍රී ලංකාව විසිනි (25-23).

සමුරායි ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පසු බසී

ආසියානු වොලිබෝල් සම්මේලනය මඟින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ආසියානු වොලිබෝල්….

සිව්වැනි වටයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යහපත් මානසිකත්වයකින් අවතීර්ණ වූ අතර චීන ක්‍රීඩකයන් තමන්ගෙන් සිදු වූ වැරදි නිවැරදි කරගනිමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. මේ වන විටත් වැඩි වාසි හිමි කරගෙන තිබූ චීන ක්‍රීඩකයින්, තරගය සම මට්ටමකට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අභිබවා යමින් එම තරග වටය ජයග්‍රහණය කළේ තියුණු සටනකට පසුවයි (25-23). අවසානයේ වට 3-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට චීනය සමත් විය.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පරාජය වූවත් තෙවැනි වටයේ දී චීනය පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් කාගේත් කතාබහට ලක් විය. තරගාවලිය තවමත් අවසන් නැත, හෙටත් (11) ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිත අතර එම තරගයේ ද සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<