අවසන් පූර්ව වටයට වැස්ස හරස් වෙයි

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021

207

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පෙර අද (28) පැවති අවසන් පූර්ව වටයේ තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

ඒ හේතුවෙන් අද නතර වූ එම තරග හෙට (29) දිනයේ දී එතැන් සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.

Tamil Union සහ යුද හමුදාව

මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් යුද හමුදා ක්‍රීඩකයන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි Tamil Union ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 242ක් රැස් කරගත්තා. එම ඉනිම වෙනුවෙන් නායක සදීර සමරවික්‍රම පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් වාර්තා කරගත්තා.

ඊට අමතරව ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් රැස් කරගැනීමට සමත් වුනා. සංතුශ් ගුණතිලක, ශිරාන් ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ ද ලකුණු අතරට පිවිසෙමින් Tamil Union ලකුණු පුවරුව ශක්තිමත් කළා.

Tamil Union ඉනිම නිමා කිරීමේ දී හේෂාන් හෙට්ටිආරච්චි ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළා.

Tamil Union ඉනිම නිමා වී පැවති විවේකය අතරතුර ක්‍රීඩාංගණයට වට වැස්ස හේතුවෙන් තරගය එතැන් සිට නතර කිරීමට පිටියේ විනිසුරුවන් තීරණය කළා.

Tamil Union – සියලුම දෙනා දැවී 242 (50): සදීර සමරවික්‍රම 50, නවෝද් පරණවිතාන 49, සංතුශ් ගුණතිලක 37, ශිරාන් ප්‍රනාන්දු 23, සුපුන් කාවින්ද 21, ජෙෆ්රි වැන්ඩර්සේ 20, හේෂාන් හෙට්ටිආරච්චි 3/42, සික්කුගේ ප්‍රසන්න 2/39, සුමින්ද ලක්ෂාන් 2/46.

රාගම සහ NCC

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් NCC ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහරදීමට රාගම ක්‍රීඩකයන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි

වුනේ පන්දුවාර 31ක් පමණයි. වර්ෂාව හේතුවෙන් එම අවස්ථාවේ දී තරගය නතර කරන විට රාගම ක්‍රීඩකයන් කඩුලු 5ක් දැවී ලකුණු 114ක් රැස් කරගෙන සිටියා.

රාගම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නිශාන් මධුශ්කයි. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 41ක් රැස් කරගෙන සිටියා. ඊට අමතරව ජනිත් ලියනගේ ලකුණු 26ක් ද අවිශ්ක තරිඳු ලකුණු 21ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සචිඳු කොළඹගේ ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තා.

රාගම ඉනිම අතරමග දී වට වැස්ස හේතුවෙන් නතර කළ ද නැවත තරගය ආරම්භ කිරීමට තරම් සුදුසු තත්ත්වයක ක්‍රීඩාංගණය පැවතියේ නැහැ. ඒ හේතුවෙන් පිටියේ විනිසුරුවන් පස්වරු 2.30ට පමණ තරගය එදිනට නතර කිරීමට තීරණය කළා.

රාගම – කඩුලු 5ක් දැවී 114 (31): නිශාන් මධුශ්ක නොදැවී 41, ජනිත් ලියනගේ 26. අවිශ්ක තරිඳු 21, සචිඳු කොළඹගේ 3/26.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැනෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<