2022 T20 ලෝක කුසලානය පැවැත්වෙන්නේ මෙහෙමයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

529
T20 World Cup 2022

කණ්ඩායම් 16ක් සහභාගී වන විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ කරන අතර Adelaide, Brisbane, Geelong, Hobart, Melbourne, Perth සහ Sydney කේන්ද්‍ර කර ගනිමින් තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව තරග සිඩ්නි ක්‍රීඩාංගණයේ දී සහ Adelaide ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ සුප්‍රකට මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම්: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලාදේශය, නැමීබියාව, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය.

තරගාවලියේ ආකෘතිය

තරගාවලිය ආරම්භ කරමින් මූලික (සුදුසුකම් ලැබීමේ) වටයේ තරග පැවැත්වීමට නියමිත අතර එයින් සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 4ක් සහ දැනට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 08 සමඟ සුපිරි 12 වටයේ දී තරග වැදීමට නියමිතයි.

කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන සුපිරි 12 වටයේ තරගවලින් පසුව එක් එක් කාණ්ඩයේ ප්‍රථම ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

පළමු වටය ක්‍රීඩා කරන කණ්ඩායම්

  • A කාණ්ඩය: නැමීබියාව, නෙදර්ලන්තය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • B කාණ්ඩය: අයර්ලන්තය, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ

A සහ B කාණ්ඩවල පෙරමුණ ගන්නා කණ්ඩායම් සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගන්නා අතර එහි දී ඔවුන් ඉතිරි කණ්ඩායම් 08 සමඟ එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් කාණ්ඩ දෙකකට වෙන් කරනු ලබයි.

සුපිරි 12 දෙනාගේ වටය

  • පළමු කාණ්ඩය: Australia, England, New Zealand, Afghanistan, සුදුසුකම් ලැබීමෙ වටයේ A කාණ්ඩයේ පළමුවැන්නා, සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ දෙවැන්නා.
  • දෙවැනි කාණ්ඩය: India, Pakistan, South Africa, Bangladesh, සුදුසුකම් ලැබීමෙ වටයේ A කාණ්ඩයේ දෙවැන්නා, සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ පළමුවැන්නා.

සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ කරමින් ගියවර ශූරයින් වූ ඕස්ට්‍රේලියාව සහ අනුශූර නවසීලන්තය ඔක්තෝබර් 22 වැනිදා තරග බිමට පිවිසීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එම වටයේ දී එක් කණ්ඩායමක් සිය කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සියල්ල සමඟ තරග වැදීමට නියමිත අතර එම තරගවලින් පසුව මුල් ස්ථාන දෙක ලබා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් පූර්ව වටය

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 09 වැනිදා සිඩ්නි නුවර දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය Adelaide හි දී පැවැත්වෙන්නේ නොවැම්බර් 10 වැනිදායි.

අවසන් මහා තරගය

දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දින දෙකකට පසුව එනම් නොවැම්බර් 13 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<