Shakib al Hasan කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

130

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib al Hasan හට තරගාවලියේ ඉතිරි තරගය ද අහිමි වන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහවුරු කරන ලදි.

පළමු ටෙස්ට් තරගය අතරතුර පන්දු රැකීමේ දී සිදු වූ ආබාධයක් නිසාවෙන් Shakib පිටියෙන් ඉවත් වීමට කටයුතු කළ අතර එම ආබාධ තත්වය තවමත් සුව වී නොමැති නිසාවෙන් ඔහු හට දෙවන සහ අවසාන ටෙස්ට් තරගයට සහභාගි වීමට නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (08) දින දැනුම් දෙන ලදි.

ඔහුගේ වම් කලව ප්‍රදේශයේ ආබාධය ඇති වීමෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් වෛද්‍යවරුන් විසින් ඔහුට නොකඩවා ප්‍රතිකාර කරමින් ඔහුගේ තත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහුට දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කළ නොහැකි බව තහවුරු කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

“Shakib මේ සතිය ඇතුළත දී ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව යෑමට සූදානම්. ඒ අතර වාරයේ දී ඔහු ඩකා නුවර අපගේ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් ඔහුගේ ශාරීරික ශක්තිය වැඩි දියුණු කරගැනීමට කටයුතු කරාවි” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයෙහි සඳහන් විය.

බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර මුල්ම ටෙස්ට් තරගය පසුගිය දා නිමා වූ අතර කොදෙව් ක්‍රීඩක Kyle Mayersගේ සුපිරි පිතිකරණය නිසාවෙන් තරගය කඩුලු 3කින් ජයගනිමින් වාර්තාගත ජයක් ලබා ගැනීමට කොදෙව්වන් සමත් විය.

මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන අතර තරගාවලියේ දෙවන සහ අවසන් ටෙස්ට් තරගය එළඹෙන 11 වැනිදා Mirpur හීදී ආරම්භ වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<