LPL පිටියට වැඩිම අගයකින් විකුණුන අපේ ක්‍රීඩකයෝ

88

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා නිමා වෙන්නේ කණඩායම් 5 විසින් ක්‍රීඩකයන් 84 දෙනෙක් මිලදී ගනිමින්. මේ වෙන්දේසියේ දී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයා බවට පත් වූයේ 21 හැවිරිදි වියේ පසුවෙන බේබි මාලිංග හෙවත් මතීෂ පතිරණයි.

ඔහුත් සමඟින් මෙම වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයෝ 154 දෙනෙක් ඇතුලත් ව සිටියා. පහත පළ වෙන්නේ මෙවර තරගාවලිය සඳහා වැඩිම මුදලකට අලෙවි වූ මෙරට ක්‍රීඩකයන් පිළිබඳවයි.

මතීෂ පතිරණ

Colombo Strikers කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 120 000ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන් කෝටි හැට දහසකට ආසන්න මුදලකට මතීෂ පතිරණ වෙන්දේසි වූයේ ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙසයි.

ඊට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් ව සිටියේ පසුගිය වසරේ දී Jaffna Kings කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92 000ක මුදලකට මිලදී ගත් ඩිල්ශාන් මධුශංක. ඔහු මෙවර Dambulla Thunders කණ්ඩායම විසින් සෘජුව ම තෝරා ගෙන තිබුණා.

21 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන මතීෂ පතිරණ මීට පෙර වසරේ දී ද ක්‍රීඩා කළේ Colombo Strikers කණ්ඩායම සමඟයි.

Indian Premier League තරගාවලියේ දී සුපිරි දක්ෂතා දක්වමින් සිටි මතීෂ මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණේ ඩොලර් 50 000ක ලංසුව යටතේයි. වෙන්දේසියේ දී Dambulla Thunders කළමනාකාරීත්වය විසින් ඩොලර් 70 000ක වටිනාකමක් ඔහුට ලබා දුන්නා. ඒ සමඟ ම Galle Marvels කණ්ඩායම විසින් පළමු ව ඩොලර් 100 000ක මුදල් ලංසුවක් ද සහ දෙවැනුව ඩොලර් 120 000ක් දක්වා ද එම ලංසුව ඉදිරියට ගෙන ගියා.

කෙසේ වෙතත් Colombo Strikers කණ්ඩායමේ ද ඉදිරිපත් කිරීම එම මුදල ම වීම හේතුවෙන් පසුගිය වසරේ තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ වාසිය හෙවත් White Ball අවස්ථාව උදා කර ගනිමින් ඔහු ව එම මුදලට ම තම කණ්ඩායමට එක් කර ගැනිමට Colombo Strikers කළමණාකාරීත්වය සමත් වූවා.

මතීෂ පතිරණ මේ දක්වා විස්සයි විස්ස තරග 48කට ක්‍රීඩා කරමින් කඩුලු 71ක් ලබා සිටින අතර ශ්‍රි ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6කට ක්‍රීඩා කරමින් කඩුලු 11ක් ලබා සිටිනවා.

ඉසුරු උදාන

36 වැනි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන ඉසුරු උදාන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම වෙන්දේසීයකට අලෙවි වූ මෙරට ක්‍රීඩකයන් අතුරින් 2 වැනි ස්ථානයට පත් වූ ක්‍රීඩකයා බවට පත් වූවා.

වෙන්දේසියේ දී 128 වැනි ක්‍රීඩකයා ලෙසින් ඇමෙරිකානු ඩොලර් 30 000ක ලංසුවක් යටතේ ඉදිරිපත් කළ ඉසුරු පළමු ඉල්ලීමේ දී ම ඩොලර් 100 000ක වටිනාකමක් ලබා දීමට Galle Marvels කළමණාකාරීත්වය කටයුතු කළා.

ඉසුරු උදාන නිමා වූ ලංකා ප්‍රිමියර් තරගවල දී Kandy Falcons, Galle Gladiators, Colombo Kings සහ B-Love Kandy යන කණ්ඩායම් නියෝජනය කළා. එම තරග මාලාවන්වල තරග 20ක දී කඩුලු 26ක් දවා ගැනීමට සමත් ව සිටින ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 210ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 35කට ක්‍රීඩා කර ඇති ඉසුරු කඩුලු 27ක් ද සහ ලකුණු 256ක් ද ලබා සිටින අතර මෙතෙක් විස්සයි විස්ස තරග 214කට ක්‍රීඩා කරමින් කඩුලු 213ක් සහ ලකුණු 1367ක් ලබා සිටිනවා.

දසුන් ශානක

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය ලැබී ඇති දසුන් ශානක ගේ මෙවර නවාතැන් පළ වී ඇත්තේ පසුගිය වසරේ ශූරයන් වූ B-Love Kandy කණ්ඩායමයි.

ඊට පෙර ඔහු 2023 වසරේ දී Galle Titans කණ්ඩායමේ ද, 2022 වසරේ දී Dambulla Aura කණ්ඩායමේ ද, 2021 වසරේ දී Dambulla Giants කණ්ඩායමේ ද සහ 2020 වසරේ දී Dambulla Viiking කණ්ඩායමේ ද සාමාජිකත්වය දැරුවා.

වෙන්දේසියේ දී ඩොලර් 50 000ක මුදලක් යටතේ ඉදිරිපත් කර තිබූ දසුන් B-Love Kandy කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් මිල දී ගන්නේ ඩොලර් 85 000ක මුදලකට.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 97කට ක්‍රීඩා කර ඇති දසුන් ශානක ඉනිම 89ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1444ක් ලබා සිටින අතර පන්දු යවන්නෙක් ලෙසින් ඉනිම 49ක දී පන්දු යවමින් කඩුලු 31ක් ද දවා ගැනීමට සමත් ව තිබෙනවා.

විස්සයි විස්ස තරග පිටියේ මේ දක්වා ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ තරග 216කට ක්‍රීඩා කරමින් ශතකය 3ක් සහ අර්ධ ශතක 16ක් සමඟින් ලබා ගත් ලකුණු 4165ක් සහ ලබා ගත් කඩුලු 76ක්.

මේ අතුරින් ලකුණු 686ක් සහ කඩුලු 10ක් ලංකා ප්‍රිමියර් ලීග් තරග 34ක දී එකතු කර ගත් ඒවායි.

බිනුර ප්‍රනාන්දු

වමතින් මඳ වේග පන්දු යවන 28 හැවිරිදි වියේ පසුවෙන බිනුර ප්‍රනාන්දු මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එක් වෙන්නේ Colombo Strikers කණ්ඩායම සමඟයි. ඔවුන් බිනුර වෙනුවෙන් ලබා දුන් වටිනාකම ඩොලර් 55 000ක්.

මීට පෙර ඔහු 2023 වසරේ දී Dambulla Aura කණ්ඩායමේ ද, 2022 වසරේ දී Jaffna Kings කණ්ඩායමේ ද, 2021 වසරේ දී Kandy Warriors කණ්ඩායමේ ද සහ 2020 වසරේ දී Jaffna Stallions කණ්ඩායමේ ද සාමාජිකත්වය දැරුවා.

එම තරගාවලි 4 දී තරග 20කට ක්‍රීඩා කරන ඔහු ලබා සිටින කඩුලු සංඛ්‍යාව 28ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 17කට ක්‍රීඩා කර ඇති බිනුර ප්‍රනාන්දු ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 16ක් වන අතර විස්සයි විස්ස පිටියේ තරග 93කට ක්‍රීඩා කරමින් කඩුලු 114ක් ලබා සිටිනවා.

ධනංජය ද සිල්වා

2020 වසරේ දී Jaffna Stallions කණ්ඩායමේ ද, 2021 වසරේ දී Colombo Stars කණ්ඩායමේ ද, 2022 වසරේ දී Jaffna Kings කණ්ඩායමේ ද සහ 2023 වසරේ දී Dambulla Aura කණ්ඩායමේ ද සාමාජිකත්වය දැරූ ධනංජය ද සිල්වා මෙවර නැවතත් Jaffna Kings කණ්ඩායම සමඟින් එක් වෙනවා.

ඒ ඩොලර් 50 000ක මුදලකට අලෙවි වෙමින්. නමුත් පසුගිය වසරේ දී ධනංජය ද සිල්වා Dambulla Aura කණ්ඩායම හා එක් ව සිටියේ ඩොලර් 76 000ක මුදලකට අලෙවි වෙමිනුයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ මෙතෙක් තරග 31ක් සඳහා ක්‍රීඩා කර ඇති ධනංජය ද සිල්වා අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 515ක් ලබා සිටින අතර කඩුලු 17ක් ද ඒ අතර තිබෙනවා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරග 43කට ක්‍රීඩා කර ඇති ධනංජය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 792ක් වන අතර ඊට අර්ධ ශතක 3ක් ද ඇතුලත්. පන්දු යැවීමෙන් කඩුලු 15ක් ද එක් කර ගැනීමට ඔහු සමත් ව තිබෙනවා.

විස්සයි විස්ස පිටියේ තරග 118කට ක්‍රීඩා කර ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2325ක් වන අතර ඊට අර්ධ ශතක 12ක් ද එක් කරන අතර පන්දු යැවීමේ දී කඩුලු 49ක් ද ඒ අතරට එක් කර ගන්නවා.

දුනිත් වෙල්ලාලගේ

පසුගිය වසරේ දී ඩොලර් 56 000ක මුදලකට Jaffna Kings කණ්ඩායම හා එක් ව සිටි දුනිත් වෙල්ලාලගේ ගේ මෙවර නවාතැන වන්නේ Colombo Strikers කණ්ඩායමයි. ඔහුට ඒ සඳහා මෙවර හිමි වූ වටිනාකම ඩොලර් 50 000ක්.

පසුගිය වසර ද්විත්වයේ දී ම ඔහු Jaffna Kings කණ්ඩායම හා එක් ව තරග 19කට ක්‍රීඩා කරමින් කඩුලු 16ක් තමන් සන්තක කර ගන්නවා.

එළැඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ස්ථානයක් හිමි ඔහු මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා නැහැ. කෙසේ වෙතත් ඔහු ප්‍රමුඛ පෙළ විස්සයි විස්ස තරග පිටියේ තරග 37කට සහභාගී වෙමින් කඩුලු 34ක් දවාගෙන තිබෙනවා.

දිනේෂ් චන්දිමාල්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණුලාභීන් අතුරින් 2 වැනි අසුනට හිමිකම් කියන දිනේෂ් චන්දිමාල් මෙවර B-Love Kandy කණ්ඩායම සමඟින් එක් වෙන්නේ ඩොලර් 40 000ක මුදලකට. නමුත් චන්දිමාල්ට මෙම කළමණාකාරීත්වය විසින් ම පසුගිය වසරේ දී ඩොලර් 72 000ක් ගෙවනු ලබනවා.

චන්දිමාල් 2020, 2021 සහ 2022 වසර ත්‍රිත්වයේ දී Colombo කණ්ඩායම් නියෝජනය කරමින් ද සහ 2023 වසරේ දී B-Love Kandy කණ්ඩායම නියෝජනය කරමින් ද තරග පිටියේ නැතිව බැරි පිතිකරුවෙක් බවට පත් වෙනවා. ඔහු ප්‍රිමියර් ලීග් තරග 39කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1069ක් ලබා තිබෙනවා. ඔහු එහි දී දෙවැනි වන්නේ අවිශ්ක ප්‍රනාන්දුට පමණයි. අවිශ්ක ලබා ඇති ලකුණු ප්‍රමාණය තරග 39ක දී ලකුණු 1170ක්.

34 හැවිරිදි දිනේෂ් චන්දිමාල් මේ දක්වා විස්සය විස්ස ජාත්‍යන්තර තරග 68කට ක්‍රීඩා කරමින් අර්ධ හථක 6ක් සමඟින් ලකුණු 1062ක් ද සහ විස්සයි විස්ස තරග 198කට ක්‍රීඩා කරමින් ශතයක් සහ අර්ධ ශතක 28ක් සමඟින් ලකුණු 4621ක් ලබා සිටිනවා.

අසිත ප්‍රනාන්දු

26 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු වෙනුවෙන් Jaffna Kings කළමණාකාරීත්වය විසින් මෙවර ගිවිස ගන්නා ලද මුදල ඩොලර් 40 000ක්. පසුගිය වසරේ දී ඔහුට මෙම කළමණාකාරීත්වය යටතේ ම හිමි වෙන්නේ ඩොලර් 28 000ක් පමණයි.

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්තේ තරග 3කට කඩුලු 2ක් ලෙසයි. ප්‍රමුඛ පෙළ විස්සයි විස්ස පිටියේ දී ඔහු තරග 41ක දී කඩුලු 48ක් දවා ගැනීමට සමත් වෙනවා.

ඒ අතරට  Galle Gladiators කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම එක් ව ලංකා ප්‍රිමියර් ලීග් තරග පිටියේ තරග 6ක දී ලබා ගන්නා ලද කඩුලු 6ක් ද ඇතුලත්.

පැතුම් නිස්සංක

ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ එක ම ද්විත්ව ශතකලාභියා මෙන් ම විස්සයි විස්ස පිටියේ වඩාත් විශ්වසනීය ආරම්භක පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය ලද පැතුම් නිස්සංක, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන්නේ තෙවැනි ක්‍රීඩකයා ලෙසයි.

ඩොලර් 40 000ක ලංසුවකට ඉදිරිපත් කර තිබූ ඔහු පළමු වටයේ දී නොවිකුණුන ක්‍රීඩකයෙක් ලෙසින් ඉවත් කිරීමෙන් අනතුරු ව නැවත වතාවක් 195 වැනි ක්‍රීඩකයා ලෙසින් ලංසුවට ඉදිරිපත් කෙරුණා.

එහි දී එම මුදලට ම Jaffna Kings කළමණාකාරීත්වය විසින් ඔහු ව මිල දී ගනු ලබනවා. 2021 වසරේ සිට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එක් ව සිටින පැතුම් මේ දක්වා තරග 21ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 478ක් ලබා සිටිනවා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 48කට ක්‍රීඩා කර ඇති ඔහු අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1231ක් ද සහ ප්‍රමුඛ පෙළ විස්සයි විස්ස තරග පිටියේ තරග 100ක දී අර්ධ ශතක 18ක් සමඟින් ලකුණු 2465ක් ලබා ගනිමින් ඔහු මෙවර තරගාවලිය හා එක් වෙනවා.

නුවන් ප්‍රදීප්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානයේ සිටින නුවන් ප්‍රදීප් මෙවර තරගාවලිය හා එක් වෙන්නේ Dambulla Thunders කණ්ඩායම සමඟිනුයි. ඒ වෙනුවෙන් ඔහුට එම කළමණාකාරීත්වය විසින් තීරණය කෙරුණ මුදල ඩොලර් 36 000ක්.

2020 වසරේ දී Kandy Tuskers කණ්ඩායම නියෝජනය කරමින් ද, 2021 සහ 2022 වසර ද්විත්වයේ දී Galle Gladiators කණ්ඩායම නියෝජනය කරමින් ද සහ පසුගිය නිමා වූ වසරේ දී B-Love Kandy කණ්ඩායම නියෝජනය කරමින් ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා එක් ව ඇති නුවන් තරග 30කට සහභාගී වෙමින් කඩුලු 43ක් ලබා ගැනීමට සමත් ව සිටිනවා.

ඔහු ගේ පන්දු යැවීමේ ගිණුමේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16ක කඩුලු 15ක් ද සහ ප්‍රමුඛ පෙළ විස්සයි විස්ස තරග 94ක කඩුලු 105ක් ද ඇතුලත්.

ජනිත් ලියනගේ

28 වැනි වියේ පසුවෙන දකුණත් ඉදිරි පෙළ පිතිකරු ජනිත් ලියනගේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එක් වෙන්නේ Galle Marvels කණ්ඩායම සමඟිනුයි. ඒ වෙනුවෙන් ඔහුට හිමි මුදල ඩොලර් 36 000ක්.

ජනිත් ඊට පෙර Kandy Falcons කණ්ඩායමේ ද සහ 2023 වසරේ දී Dambulla Aura කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙසින් රැදී සිටියා.

ඔහු ප්‍රමුඛ පෙළ විස්සයි විස්ස තරග 57ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 922ක් ලබා ගන්නා ලද අතර, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 6ක දී ලබා ගන්නා ලද ලකුණු 114ක් ද තිබෙනවා.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ජනිත් ලියනගේ ප්‍රමුඛ පෙළ තරගවල දී කඩුලු 32ක් දවා ගෙන තිබෙනවා.

Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<