දඟ පන්දු යවන්නෝ මහනුවර අමාරුවේ දමයි

SLC National Super League 4 Day Tournament 2024

52

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලියේ ගාල්ල සහ මහනුවර කණ්ඩායම් සහභාගී වන අවසන් මහා තරගයේ තෙවැනි දිනය (02) අවසන් වෙන්නේ ගාල්ල කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 176ක අභියෝගයක් ලබා දෙමිනි.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 316ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම තම 2 වැනි ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 304ක් පමණි. ඒ අනුව ලකුණු 12ක් ඉදිරියෙන් සිටිමින් පිටියට පිවිසි මහනුවර කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 163කට දැවී ගියේ ය.

ඒ අනුව තරගය තෙවැනි දිනයට නතර කරන විට මහනුවර ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 175ක් ඉදිරියෙන් පසු වූ හ.

අවසන් මහා තරගය, පල්ලෙකැලේ, අප්‍රේල් 30 – මැයි 03, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Galle

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ

පෙර දින තරගය නතර කරන විට ගාල්ල කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 247ක් ලබා සිටි අතර ඒ වෙද්දී නායක රමේෂ් මෙන්ඩිස් තම පසු පෙළ ක්‍රීඩකයන් හා එක් වෙමින් තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් සටන්කාමී ඉනිමක නිරත වී සිටීම කැපී පෙණුනි.

නමුත් දිනයේ පළමු කඩුල්ල ලෙසින් රමේෂ් මෙන්ඩිස්ට තම ඉනිම බිලි දීමට සිදු වූයේය. ඒ ප්‍රතිවාදී නායක ලසිත් ඇඹුල්දෙණිය ගේ පන්දුවක් කෙලින් ම කඩුල්ල වැදීම නිසා ය. ඒ වෙද්දී රමේෂ් මෙන්ඩිස් පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 111ක් ලබා සිටියේ ය. එම ඉනිම රමේෂ් මෙන්ඩිස් ගේ පළමු පෙළ තරග දිවියේ 10 වැනි ශතකයයි.

අනතුරු ව ටිලංග උදේශන ද පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා සිටිය දී අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියේ ය. ගාලු ඉනිම අවසන් වෙද්දී අසංක මනෝජ් ලකුණු 5ක් ලබා සිටියේ ය.

කඩුලු දවා ගැනීමේ දී සිතුම් දිසානායක, නිම්සර අතරගල්ල සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බෙදා ගත් අතර පුලින තරංගට ද කඩුල්ලක් හිමි වුණි.

ලකුණු 12ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 19ක් තුළ බිඳ හෙළීමට ගාලු පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව පවන්ත වීරසිංහ (6), සහන් කෝසල (8) සහ කවින් බණ්ඩාර (0) වේලාසනින් තම ඉනිම් ප්‍රතිවාදීන්ට බිලි දුන් හ. අනතුරු ව සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක සබඳතාවක් එක් කිරීමට සිතාර ගිම්හාන් සහ රවීන් යසස් සමත් වූහ.

ඒ අතුරින් සිතාර ගිම්හාන් පන්දු 62කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටිය දී තම ඉනිම හැර යෑමත් සමඟින් සිවු වැනි කඩුල්ලේ සබඳතාව ද බිඳී ගියේ ය.

ඉන් අනතුරු ව රවීන් යසස් සහ රවිඳු රත්නායක එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් එක් කළ හ. රවීන් යසස් පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටුණි.

ඉනිමේ හොඳම ලකුණු සබඳතාව 6 වැනි කඩුල්ලේ දී එක් කිරිමට රවිඳු රත්නායක සහ පුලින තරංග සමත් විම කැපී පෙණුනි. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් එක් කළ හ. රවිඳු රත්නායක පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟන් ලකුණු 27ක් ද සහ පුලින තරංග පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ද ලබා ගත් හ.

අනතුරු ව ඉතිරි කඩුලු 4 ලකුණු 15ක් තුළ දවා ගැනීමට ගාල්ල පන්දු යවන්නෝ සමත් වූ හ. කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් ලකුණු 42කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය.

ඊට අමතර ව ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2ක් බැගින් දවා ගත් අතර අසංක මනෝජ් ට ද කඩුල්ලක් හිමි වුණි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (99.0) පවන්ත වීරසිංහ 27, සහන් කෝසල 84, සිතාර ගිම්හාන් 90, අශේන් ඩැනියෙල් නොදැවී 50, ධනංජය ලක්ෂාන් 2/74, ටිලංග උදේශන 2/56, අසංක මනෝජ් 3/46, රමේෂ් මෙන්ඩිස් 2/47

Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (86.4) ෂෙහාන් ප්‍රනාන්දු 33, ධනංජය ලක්ෂාන් 47, ලක්ශාන් එදිරිසිංහ 19, විශාද් රන්දික 19, රමේෂ් මෙන්ඩිස් 111, සිතුම් දිසානායක 3/50, නිම්සර අතරගල්ල 3/66, ලසිත් ඇඹුල්දෙණිය 3/79

Kandy – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 163 (71.0) සිතාර ගිම්හාන් 21, රවීන් යසස් 45, රවිඳු රත්නායක 27, පුලින තරංග 43, නිශාන් පීරිස් 5/42, ප්‍රවීන් ජයවික්‍රම 2/35, රමේෂ් මෙන්ඩිස් 2/38

මෙම තරගය හෙට (03) සිවු වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<