තීරණාත්මක ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට දින තීන්දුයි

265

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට අදාළ පළමු පියවර ලෙස පසුගිය මස (ජනවාරි) 7 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් අතිවිශේෂ මහ සභා රැස්වීමේ දී ත්‍රිපුද්ගල ක්‍රිකට් නිලවරණ කමිටුව පත් කළ අතර, එහි කමිටු සභාපති ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය පත් කෙරිණි.

විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා මහත්මිය හා හිටපු ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වූ ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා එම කමිටුවේ සෙසු සාමාජිකයින් වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව පත්කිරීමෙන් අනතුරුව, එහි පත්වීම් දින සිට මාස දෙකකට නොඅඩු කාලයක් තුළ නිලවරණ කමිටුව විසින් නාමයෝජනා කැඳවිය යුතු බව ක්‍රීඩා පනතේ තිබෙන රෙගුලාසිවල දැක්වෙනවා. ඒ අනුව කැඳවා ඇති නිලවරණයේ නාමයෝජනා භාර ගැනීම මේ මස 24 වැනිදා පස්වරු 3.30 දක්වා සිදු කෙරෙනවා.

ක්‍රිකට් ආයතනයේ සභාපති, උපසභාපතිවරු දෙදෙනෙක්, ලේකම්වරයෙක්, උපලේකම්වරයෙක්, භාණ්ඩාගාරිකවරයෙකු සහ උපභාණ්ඩාගාරිකවරයෙකු ඇතුළු නිලධාරි මණ්ඩලයක් මෙහි දී තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

අවසන් වරට පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී එහි සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්ද 27කින් තේරී පත් වුනා. එම නිලවරණයේ දී ශම්මි සිල්වා මහතා ඡන්ද 83ක් හිමි වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා ලෙස නිලවරණයට ඉදිරිපත් වූ ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56ක් හිමි වුනා.

එම නිලවරණයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් අනුබද්ධ ක්‍රීඩා සමාජවල ඡන්ද 142ක් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, ඡන්ද දායකයන් 140ක් ඡන්ද ප්‍රකාශ කර තිබුණි. ශම්මි සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් වත්මන් නිල මඬුල්ලේ ධුර කාලය ලබන මැයි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මැයි 20 වැනිදා පෙරවරු 10.30ට කොළඹ 7 පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී නිලවරණය පැවැත්වීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<