සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මෙම ඉරිදා (20) දඹුල්ල රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. ඒ අනුව එක්දින පිටියේ දී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලාංකික පන්දු යවන්නන් විසින් දැක්වූ ඉහළම දක්‍ෂතා සොයා බැලීමට අපි කටයුතු කළෙමු.

2017 ශ්‍රී ලංකාවේ පන්දු රැකීම දුර්වලම තත්ත්වයට පත්වූ වසරද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2017 වසර එතරම් සුබදායක නොවූ අතර සියලුම ආකාරයේ ක්‍රිකට් තරග 30ක් …

මුත්තයියා මුරලිදරන් 7/30 (සාජා, 2000)

2000 වසරේ ඔක්තෝබර් 27 වන දින ‘Coca-cola’ කුසලානයේ 6 වැනි තරගය සාජා ක්‍රීඩාංගණයේ දී විදුලි ආලෝකය මධ්‍යයේ පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ වත්මන් ජාතික තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය විසිනි.

තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායමේ නායක සෞරව් ගංගුලි පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 294ක් ලබා ගැනීමට සමත් විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දැවී ගියත් මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන එක්ව 3 වන කඩුල්ලට ලකුණු 226ක දැවැන්ත සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය.

295ක ඉලක්කයක් හඹාගිය ඉන්දියානු කණ්ඩායමේ කඩුලු 2ක් පන්දුවාර 5ක් තුළ බිඳවැටුණු අතර ඉන් අනතුරුව පන්දුව මුරලිදරන් හට බාර කරනු ලැබීය. එහි දී ඔහු පළමු කඩුල්ල ලෙස රොබින් සිං දවා ගන්නා ලදි. ඉන් අනතුරුව ලකුණු 61ක් රැස්කරගෙන සිටි සචින් ටෙන්ඩුල්කාර්ගේ කඩුල්ල ද මුරලි විසින් දවාගත් අතර ඒ අනුව ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 48.5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 226ක් පමණි. කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්‍ෂතා නිසා මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 68ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි විය.

එහි දී සිය පෞද්ගලික හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කර ගත් මුත්තයියා මුරලිදරන් සිය පන්දුවාර 10 තුළ ලකුණු 30ක් පමණක් ලබා දෙමින් කඩුලු 7ක් දවාගන්නට සමත් විය. ඒ අනුව මුරලිගේ මෙම දක්‍ෂතාවය ආකීබ් ජාවේඩ්ගේ 7/37 සමඟ එක්දින තරගයක දී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව වාර්තා කර ගත් හොඳම පන්දු යැවීම ලෙස ඉතිහාසයේ සටහන් වී ඇත.

අජන්ත මෙන්ඩිස් 6/13 (කරච්චි, 2008)

දකුණත් දඟපන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී සිය පන්දු යැවීමේ ඉරියව්වෙන් සහ පන්දු යැවීමේ දී කළ හැකි වෙනස්කම් තුළින් පිතිකරුවන් නිරුත්තර කරන්නට සමත් විය.

ඒ අනුව 2008 වසරේ දී පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ලකුණු 100ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට සමත් විය. එහි දී ඉන්දීය නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 273ක් ලබාගත් අතර සනත් ජයසූරිය පන්දු 114ක දී ලකුණු 125 ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය. ඒ අනුව 274ක ඉලක්කයක් හඹාගිය ඉන්දියානු කණ්ඩායම වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 9ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 76ක් රැස්කර ගැනීමට සමත් විය.

9 වන පන්දුවාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පන්දුව අජන්ත මෙන්ඩිස් හට බාර කළ අතර ඔහු එහි දී පන්දු 36ක දී ලකුණු 60ක් වාර්තා කරගෙන සිටි විරේන්ද්‍ර ෂෙවාග්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. පසුව යවරාජ් සිං සහ සුරේෂ් රයිනා ද මෙන්ඩිස් විසින් දවාගත් අතර ඒ අනුව නැවතත් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට විවෘත විය.

ඉන් නොනැවතුණු අජන්ත මෙන්ඩිස් ඉන්දියානු කණ්ඩායමේ පිතිකරණ බලඇණියම අඩපණ කරන්නට සමත් වූ අතර ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 40ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 173ක් පමණි. ඒ අනුව අජන්ත මෙන්ඩිස් පන්දුවාර 8ක් තුළ ලකුණු 13ක් පමණක් ලබා දෙමින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. එහි දී ඔහුගේ ලකුණු ලබා දීමේ වේගය සටහන් වූයේ 1.63ක් ලෙසයි.

ඇන්ජෙලෝ මැතිව්ස් 6/20 (ආර්. ප්‍රේමදාස, 2009)

ඇන්ජෙලෝ මැතිව්ස් වේගපන්දු යවන්නෙක් වශයෙන් එක්දින කණ්ඩායමකට අතිශය වැදගත් ක්‍රීඩකයෙකි. ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා වූයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති තුන්කොන් තරගාවලියක දී ඉන්දියානු කණ්ඩායමට එරෙහිවයි.

2009 වසරේ ‘Compaq Cup’ තරගාවලියේ තුන්වන තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගය ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 139කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ දී ලකුණු 307ක් ලබාගත් අතර එහි දී සනත් ජයසූරියගේ සහ තිලිණ කණ්ඩම්බිගේ දක්‍ෂතා වැදගත් විය.

කණ්ඩායම් නායක කුමාර් සංගක්කාර 5 වන පන්දු යවන්නා වශයෙන් ඇන්ජෙලෝ මැතිව්ස් හට පන්දුව බාර කළ අතර ඉන්දියානු කණ්ඩායමේ පිතිකරණ බලඇණිය බිඳ දැමීමට ඔහු සමත් විය. රාහුල් ද්‍රාවිඩ්, මහේන්ද්‍ර සිං දෝනි, සුරේෂ් රයිනා සහ යූසුෆ් පතාන් යන ප්‍රබල පිතිකරුවන් මැතිව්ස්ගේ ගොදුරු බවට පත්විය. ඒ අනුව මැතිව්ස් යවනු ලැබූ පන්දුවාර 6 දී ඔහු ලකුණු 20ක් පමණක් ලබා දෙමින් කඩුලු 6ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය.

චමින්ද වාස් 5/14 (සාජා, 2000)

2000 වසරේ පැවති ‘Coca-cola’ කුසලානයේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ගේ මතකයේ රැඳෙන දිනයක් බවට පත්විය. ඒ අනුව 2000 වසරේ ඔක්තෝබර් 29 වෙනි දින සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා රැසක් පිහිට වනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සනත් ජයසූරිය අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනාගත් අතර ඉන් උපරිම ප්‍රයෝජන නෙළාගත් ඔහු පන්දු 161ක දී ලකුණු 189ක් වාර්තා කරගත්තේ ශ්‍රී ලාංකිකයෙක් එක්දින තරගයක දී වාර්තා කරගත් ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 299ක් වාර්තා කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද ඔවුන්ගේ වගකීම අකුරටම ඉටු කරන්නට සමත් වූ අතර එහි දී චමින්ද වාස්ගේ දක්‍ෂතා කැපී පෙනුණි. ඔහු ඉන්දියානු පිතිකරුවන් අනුකම්පා විරහිතව නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යැවූ අතර වාස් හමුවේ ඉන්දියානු පිතිකරුවන් නිරුත්තර විය. කිසිවෙක් බලාපොරොත්තු නොවූ පරිදි ඉන්දියානු ඉනිම පන්දුවාර 26.3ක දී ලකුණු 54ක් තරම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා විය.

මෙහි දී චමින්ද වාස් සචින් ටෙන්ඩුල්කාර්, සෞරව් ගංගුලි, යුවරාජ් සිං සහ විනෝද් කම්බ්ලි යන වැදගත් කඩුලු දවා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දුවාර 9.3ක දී ලකුණු 14ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවාගනු ලැබීය. ඔහුගේ ලකුණු ලබා දීමේ වේගය සටහන් වූයේ 1.45ක් ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සංඛ්‍යාවෙන් වාර්තා කළ ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් ලකුණු 245ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනු ලැබීය.

තිසර පෙරේරා 5/28 (දඹුල්ල, 2010)

2010 වසරේ අගෝස්තු මාසයේ දී පැවති තුන්කොන් තරගාවලියේ 5 වන තරගයේ දී ඉන්දියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නේ වේගපන්දු යවන්නන් හට හිතකර තණතිල්ලක ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පන්දු වෙනස් කිරීම වශයෙන් තිසර පෙරේරා හට පන්දුව බාර කෙරුණු අතර එහි දී ඉන්දියානු කණ්ඩායමේ මැදපෙළ බිඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වන්නට ඔහු සමත් විය.

තිසර පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බිඳ වැටුණු ඉන්දියානු ඉනිම පන්දුවාර 15.1ක දී ලකුණු 104ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් හා පන්දු 209ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. තිසර පෙරේරා යොමු කළ පන්දු හමුවේ නායක කුමාර් සංගක්කාර උඩපන්දු දෙකක් ලබාගත් අතර සුරේෂ් රයිනා, මහේන්ද්‍ර සිං දෝනි සහ රවීන්ද්‍ර ජඩේජා තිසරගේ ගොදුරු බවට පත්විය. ඔහු පන්දුවාර 7.4ක දී ලකුණු 28ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවාගත් අතර ඔහුගේ මෙම විශිෂ්ට පන්දු යැවීම වෙනුවෙන් ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලබන ලදි.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න