1999 වසරේ දී අවසන් වරට ජය පැරදුම විසඳුණු ‘සහෝදරයන්ගේ සටනේ’ ජයග්‍රාහී අන්තයේ හිමිකරුවන් වූ ඉසිපතන විද්‍යාලය වසර 18කට පසු නැවතත් ජයග්‍රාහී අවසානයක් සොයා පෙබරවාරි 24 සහ 25 දෙ දින තුල කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී තර්ස්ටන් විද්‍යාලය සමඟ සටනට පිවිසෙන්නේ 54 වන වාර්ෂික මහා ක්‍රිකට් තරගය සඳහායි.

ආනන්දයට එරෙහිව නාලන්දාව අසීරු පරීක්ෂණයක් අභියස

වමත් පිට-දඟ පන්දු යවන දක්ෂ ක්‍රීඩක උමේෂ් ඩිල්ෂාන් නාලන්ද කණ්ඩායමේ දඟ පන්දු බල ඇණියේ පුරෝගාමීත්වය ගෙන ක්‍රීඩා කරනු ඇත..

ඉතිහාස පොතෙන් පිටුවක්

අඩ සියවසකට වඩා වැඩි ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ ඉසිපතන විද්‍යාලය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කරළියට තිලිණ කළ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම නම් කළ හැක. ඒ අතරින් ජයන්ත පරණාතල, අශෝක ද සිල්වා, අෂන්ත ද මේල්, සංජීව වීරසිංහ, අසංක ගුරුසිංහ සුරේෂ් පෙරේරා සහ නුවන් සොයිසා ප්‍රධාන වේ.

තරග 53ක ඉතිහාසයේ ඉසිපතන විද්‍යාලය මහා ක්‍රිකට් තරග ශූරතා දිනා ගත් අවස්ථා සංඛ්‍යාව 4කි. 1973, 1979 සහ 1986 වසර වල ශූරතාව දිනා ඇති ඔවුන් 1999 වසරේ ජය ගත් මහා ක්‍රිකට් කිරුල සමඟ සහෝදරයන්ගේ සටනේ වත්මන් ශූරතා හිමිකරුවන් ලෙස වසර 18ක් කිරුළු දරා සිටියි.

කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රතිවාදී තර්ස්ටන් විද්‍යාලය මහා ක්‍රිකට් තරග 5ක ජයග්‍රහණ වලට හිමිකම් කියන්නේ 1990 සිට 1992 දක්වා නොකඩවා වසර 3ක් ලද ජයග්‍රහණ ද සමඟිනුයි.

අවධානය යොමු වන ක්‍රීඩකයන්

කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන සිව් වන වසර වර්ණලාභී සංජුල අබේවික්‍රම වර්තමානය වන විට සිය ඉහලම දස්කම් අතර නොසිටියත්, මෙම තරග වාරයේ තරග 8කදී ලකුණු 367ක් ලබා සිටින්නේ ඉනිමකට ලකුණු 33.36ක පිතිකරණ සාමාන්‍යයක් සමඟයි. ශ්‍රී ලංකා ජාතික යොවුන් සංචිතයේ ද සාමාජිකයෙකු වූ මේ වමත් පිතිකරුවා, තම පෞද්ගලික ලකුණු එකතුව ද තවත් ඉහල දමා ගන්නා අතරම සිය කණ්ඩායම ශූරතාව වෙත ගෙන යාම සඳහා විශාල උත්සාහයක් දරනු ඇත. එමෙන්ම ඉසිපතන ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පියා සහ පුතු මහා ක්‍රිකට් තරගයක දී නායකත්වය දැරීමේ දුර්ලභ අවස්ථාවක් සටහන් වන්නේ 1984 වසරේ දී සංජුලගේ පියා වන අනුර අබේවික්‍රම ඉසිපතන ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවා තිබීම හේතුවෙනුයි.

2016/17 ඉසිපතන විද්‍යාලයීය ක්‍රිකට් සංචිතයේ ඡායාරූප ඇල්බමය

දෙවන වසරේ වර්ණලාභී පැතුම් නිස්සංක මේ තරග වාරයේ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ඇති ක්‍රීඩකයායි. දකුණතින් පිත්ත හසුරුවන ඔහු තරග 8කදී ලකුණු 728ක් ලබා ඇත්තේ ඉනිමකට ලකුණු 66.18ක සාමාන්‍යයක් මෙන්ම 94.55ක ඉහල ප්‍රහාරාත්මක වේගයක් ද රඳවා ගනිමිනුයි. එමෙන්ම පසුගිය එංගලන්ත තරග සංචාරයේ දී මෙන්ම දකුණු අප්‍රිකා සංචාරයේ දී ද, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම නියෝජනය කරමින් ලද අත්දැකීම් ද පැතුම් හට මෙම තරගය සඳහා ඉතා වැදගත් වනු ඇත.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ඉහල දස්කම් දක්වා ඇති, තුන්වන වසරේ වර්ණලාභී අයන සිරිවර්ධන ඉසිපතන කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි. වේගයෙන් පන්දුවට පහර දීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන මෙම දකුණත් මැද පෙළ පිතිකරුවා මෙම තරග වාරයේ දී ලකුණු 631ක් ලබාගෙන ඇත්තේ ඉනිමකට ලකුණු 37.12ක පිතිකරණ සාමාන්‍යයක් සහ 88.5ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමිනුයි.

දෙවන වසරේ වර්ණලාභී, ලහිරු ඩිල්ශාන් ඉසිපතන පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කරන ප්‍රධානතම අවිය ලෙස හැඳින්විය හැක. වමත් පා දඟ පන්දු යවන ලහිරු ඉසිපතන කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා ද වන අතර, ඔහු තරග 9කදී කඩුලු 54ක් දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් සඳහා ලකුණු 15.67 ක විශිෂ්ට සාමාන්‍යයක් වාර්තා කරමිනුයි.

පුහුණු කාර්ය මණ්ඩලය

දිලිප් ප්‍රසන්න ඉසිපතන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තේ මෙම තරග වාරය අතරතුර දී වුවද, මේ වන විට කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳ ඔහුට මනා අවබෝධයක් පවතිනු ඇත. දිලිප්ගේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කැලුම් රත්නවීරයි. වරුණ සේනානායක ඉසිපතන විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරයි.

සාරාංශය

මෙම තරග වාරයේ පූර්ණ ජයග්‍රහණ 2ක් පමණක් ලබාගෙන ජය පැරදුමෙන් තොර තරග 8ක් සහ එක් පරාජයක් වාර්තා කර ඇති ඉසිපතන විද්‍යාලය මෙවර මහා ක්‍රිකට් තරගයට පිවිසෙන්නේ ශූරතාව පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා ගත හැකි කණ්ඩායම ලෙසින් නොවේ. එබැවින් 1999 විජයග්‍රහණය නැවත ලියන්නට නම් ඔවුන්ට තර්ස්ටන් විද්‍යාලයෙන් එල්ල වන ඉහල සටන්කාමීත්වයට ප්‍රබල පිළිතුරක් ලබා දීමට සිදුවනු ඇත.

ඉසිපතන විද්‍යාලයීය සංචිතය

සංජුල අබේවික්‍රම (C), අයන සිරිවර්ධන, සංජුල බණ්ඩාර, හේෂාන් ධනුෂ්ක, පැතුම් නිශ්ශංක, කළණ පෙරේරා, ලහිරු ඩිල්ෂාන්, හර්ෂ රත්නායක, මධුෂික සඳරුවන්, දිනත් දිසානායක, නෙරංජන් වන්නිආරච්චි, මන්ත්‍රී අතුකෝරල, මනීෂ රූපසිංහ, සකුන්ත රණවීර, ලිසුර වීනත්, ලිෂාන් අමරසිංහ