ලහිරුගේ අභියෝගයට එල්ගාර්ගෙන් ප්‍රබල ප්‍රතිරෝධයක්

876
Lahiru Kumara

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) කේප්ටවුන් හිදී ආරම්භ විය. ඒ කලින් තරගයේදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කළ කුසල් පෙරේරා සහ දුෂ්මන්ත චමීර වෙනුවට උපුල් තරංගට සහ ලහිරු ගමගේට ශ්‍රී ලංකා පිළේ දොරගුළු විවර කර දෙමිනි. දකුණු අප්‍රිකානුවන් කලින් තරගයට ඉදිරිපත් කළ ජයග්‍රාහී කණ්ඩායමම මෙම තරගය සඳහා ද යොදාගෙන තිබුණි.

පළමු ටෙස්ට් තරගයේ පරාජයට හේතුව මැතිව්ස් පැහැදිලි කරයි

දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 206ක පරාජයක් ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ පිතිකරුවන් නිවැරදිව තෝරා බේරා ගැනීමෙන් තොරව පන්දුවට පහ
ර එල්ල කිරීම තරග පරාජය සඳහා බලපෑ ප්‍රධාන වරදක් බවයි.

අද උදෑසන කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයාගේ තීරණය වූයේ කොළ පැහැය මුසුවූ තණතීරුවේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන්ව මුලින් පිතිකරණයට පොළඹවාගෙන හැකි ඉක්මනින් ඔවුන්ව දවා ගැනීමයි. එම අරමුණ යථාර්ථයක් කර ගැනීමේ පළමු වෙඩිමුරය වශයෙන් සුරංග ලක්මාල්, කලින් තරගයේ වීරයා බවට පත්වූ ස්ටීවන් කුක්ව ප්‍රථම පන්දු වාරයේදීම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. ඒ ඇතුළට සහ පිටතට දෝලනය වන පන්දු කිහිපයක් මගින් කුක්ව දැඩි තිගැස්මකට ලක් කරමිනි.

ඉන් අනතුරුව ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාටම සාර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකි වූ අතර දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 66ක් කරා ඇදී ගියේය. හෂීම් අම්ලා සහ ඩීන් එල්ගාර් අතර ඇතිවූ එම ලකුණු සබඳතාවය බිඳ දැමීමට සමත් වූයේ තවමත් 19 වැනි වියේ පසුවන යොවුන් වේග පන්දු යවන්නෙකු වන ලහිරු කුමාරයි. පැයට කිලෝමීටර 140ක් වැනි වේගයක් පවත්වා ගනිමින්, නොසැලෙන විශ්වාසයකින් අභියෝගාත්මක පන්දු යැවීමක නිරත වුනු ඔහු, 23වැනි පන්දු වාරයේදී දකුණු අප්‍රිකානු ප්‍රබල පිතිකරුවන් දෙපළක් වන හෂීම් අම්ලා සහ ජේ. පී. ඩුමිනි දවාගැනීමට සමත් වූයේ තරගයේ වාසිය මුළුමනින්ම ශ්‍රී ලංකාව දෙසට නතු කර ගනිමිනි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථම දිනයේ ඡායාරූප එකතුවට පිවිසෙන්න

ඒ අතුරින් අම්ලාව දවාගැනීමට ලහිරු යැවූ පන්දුව වේග පන්දු යවන්නෙකුගේ උපරිමය පෙන්වා දුන් අවස්ථාවක් බවට පත්වූ අතර ඩුමිනිගේ කඩුල්ලේ ගෞරවයෙන් කොටසක් උඩ පන්දුව රැකගත් කුසල් මෙන්ඩිස්ටද හිමිවිය යුතුමය. අද තාවකාලික කඩුලු රකින්නා ලෙස කටයුතු කල ඔහු පා ඉන්න දෙසට පියඹා යමින් විශිෂ්ඨ ලෙස රැකගත් උඩපන්දුව නොවන්නට ශ්‍රී ලංකාවට මෙම තරගය මීටත් වඩා අභියෝගාත්මක වන්නට ඉඩ තිබුණි.

මුල්පෙළ බිඳ වැටුනු මොහොතේ දකුණු අප්‍රිකානු ඉනිමේ තම භූමිකාව මැනවින් වටහාගත් නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් සහ ඩීන් එල්ගාර් සෙමින් සෙමින් ඉනිම ගොඩ නැගුවේ ඉතාමත් පරීක්ෂාකාරී වෙමිනි. ප්ලෙසිස් අද ලකුණු 38ක් වාර්තා කල අතර බිඳ වැටෙන්නට ගිය දකුණු අප්‍රිකානු ප්‍රථම ඉනිම තම පිත්තේ මහිමයෙන් ගලවාගත් ඩීන් එල්ගාර් අද හතරේ පහර 15ක් සමඟින් ලකුණු 129ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 76ක සබඳතාවයක් නිමා කරමින් ප්ලෙසිස්, රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර කලින් තරගයේදී ද පිත්තෙන් දැනෙන්නට දෙයක් කළ නොහැකි වූ ටෙම්බා බවුමා, අද ලකුණු 10ක් ලබා සිටියදී එල්ල කල අපරීක්ෂාකාරී පහරක් නිසාවෙන් සිය කඩුල්ල අහිමි කර ගත්තේය. දකුණු අප්‍රිකානුවන්ගේ පසුපෙළ පවුර ලෙස කටයුතු කරන ක්වින්ටන් ඩි කොක් අද දිනය නිමා වනතෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය. ඒ දර්ශනීය හතරේ පහර 7ක් තම ඉනිමට අන්තර්ගත කර ගනිමිනි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනයේ සාර්ථකම පන්දු යවන්නා වීමට තම තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සමත් වූ අතර ඔහු දිනය නිමාකළේ ලකුණු 86ට කඩුලු 3ක් දවාලමිනි. සුරංග ලක්මාල් ලකුණු 69ට කඩුලු 2යි. පිත්තටත් පන්දුවටත් සමතැන් හිමිවූ ප්‍රථම දිනය අද නිමාවට පත්වූයේ දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුලු 6ට ලකුණු 297ක් ලෙස සටහන් වෙද්දීය. එබැවින් ඉතිරි දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිව්දෙනාද හැකි ඉක්මනින් දවාගෙන ධනාත්මක පිතිකරණයක නියැලීම හෙට දිනයේදී ශ්‍රී ලංකාව හමුවේ ඇති ප්‍රධානම අභියෝගය බවට පත්ව තිබේ.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 297 (පන්දුවාර 90)

ඩීන් එල්ගාර් 129, ක්වින්ටන් ඩි කොක් 68*, ෆැෆ් ඩූ ප්ලෙසිස් 38, හෂීම් අම්ලා 29, ලහිරු කුමාර 3/86, සුරංග ලක්මාල් 2/69, රංගන හේරත් 1/34.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට