NSL එක්දින ශූරතාව දඹුල්ලට

National Super League Limited Over Tournament

88
Pavan Rathnayake ton helps Dambulla win NSL Title

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ අද (10) සමත් වූවා. ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ Kandy කණ්ඩායමයි.  

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ දී දඹුලු ක්‍රීඩකයෝ මහනුවර ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූවා.  

අවසන් මහා තරගය, කොළඹ (දිවා/රාත්‍රී), මාර්තු 10, 2024, National Super League Limited Over Tournament 

  • කාසියේ වාසිය – Dambulla 
  • ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ. 

Dambulla කණ්ඩායම: මිනෝද් භානුක (නායක / කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, සනෝජ් දර්ශික, පවන් රත්නායක, අයන සිරිවර්ධන, දුශාන් හේමන්ත, චමිඳු විජේසිංහ, සොනාල් දිනූෂ, විශ්ව ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාෂ්, රනේෂ් සිල්වා. 

Kandy කණ්ඩායම: අහන් වික්‍රමසිංහ (නායක), සිතාර ගිම්හාන් (කඩුලු රකින්නා), ලහිරු උදාර, කමිල් මිෂාර, තික්ෂිල ද සිල්වා, පුලින තරංග, චාමික ගුණසේකර, වනුජ සහන්, නිම්සර අතරගල්ල, කවින් බණ්ඩාර, අශේන් ඩැනියෙල්. 

කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩකයෝ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව එම ඉනිම ආරම්භ කළේ නායක මිනෝද් භානුක සහ ලසිත් කෲස්පුල්ලේ. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 96ක සබඳතාවක් එක් කළේ තම නායකයාගේ තීරණය වඩාත් සාධාරණීය කරණය කරමිනුයි.  

එම සබඳතාව බිඳ දැමීමේ ගෞරවය දිනා ගත්තේ පුලින තරංග. ඔහුගේ පන්දුවක් කඩුල්ල බිඳ හෙලද්දී ලසිත් කෲස්පුල්ලේ පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.  

අනතුරු ව පිටියට පිවිසියේ සනෝජ් දර්ශික. ඔහුටත් නායක මිනෝද් භානුකටත් පිටියේ වැඩි වේලාවක් එකතු වීමට නැවතත් පුලින තරංග ඉඩ ලබා දුන්නේ නැහැ. එවර මිනෝද් භානුක කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට ඔහු සමත් වූවා. ඒ වෙද්දී මිනෝද් භානුක පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටියා.  

දඹුලු ඉනිමේ පීඩනකාරී කඩුලු සබඳතාව එක් වූයේ ඊට පසුවයි. එහි දී සනෝජ් දර්ශික සහ පවන් රත්නායක එක් ව තෙවැනි කඩුල්ලට ලකුණු 160ක සබඳතාවක් එක් කළා. ඔවුන්ගේ සබඳතාව පන්දුවාර 25ක් තුළ පැවැති අතර සනෝජ් දර්ශික ගේ දැවී යෑමත් සමඟින් එම සබඳතාව බිඳ වැටුණා.  

සනෝජ් දර්ශික පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තා. 

ඒ වෙද්දීත් නොදැවී පිටියේ රැදී සිටි පවන් රත්නායක, අයන සිරිවර්ධන හා එක් වෙමින් සිවු වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් එක් කළා. අයන සිරිවර්ධන රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 21ක් වූ අතර ඊට පන්දු 17ක් වැය ව තිබූ අතර හතරේ පහරක් සහ හයේ පහරක් ඒ තුළ තිබුණා.  

තරගයේ පළමු කාර්තුව අවසන් වෙද්දී පවන් රත්නායක පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 118ක් ද සහ දුශාන් හේමන්ත පන්දු 3ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.  

පවන් රත්නායක අද රැස් කළේ තම තරග 53ක් වූ List A තරග පිටියේ හොඳම ඉනිමයි.  

පන්දු යැවීමේ දී පුලින තරංග ලකුණු 68කට කඩුලු 2ක් දවා ගත් අතර තිකෂිල ද සිල්වා සහ නිම්සර අතරගල්ල කඩුල්ල බැගින් දවා ගත්තා.  

අවාසනාවන්ත යැයි සැලකෙන ලකුණු 333ක් හඹා යෑමට පිටියට පිවිසි Kandy කණ්ඩායමට එම අවාසනාව පළමු කඩුල්ලේ දී ම අත් විඳීමට සිදු වූවා. එම ඉනිම ආරම්භ කළ සිතාර ගිම්හාන්ට ඉනිමේ 8 වැනි පන්දුවේ දී තම කඩුල්ල දන් දීමට සිදු වීම නිසයි. 

ඒ වෙද්දී මහනුවර ඉනිම ලකුණු 7 නතර වී තිබුණා. ඒ ලද අවසරයෙන් දඹුලු ක්‍රීඩකයෝ අතිශය උද්දාමයට පත් වූවත් දෙවැනි කඩුල්ල සඳහා ලහිරු උදාර සහ කමිල් මිෂාර ලකුණු 149ක සබඳතාවක් එක් කිරීමට සමත් වීමත් සමඟින් තරගයේ පාලනය දඹුලු ක්‍රීඩකයන්ගෙන් ගිලිහී ගියා.  

එම කඩුල්ලේ සබඳතාව ගිලිහී ගියේ ලහිරු උදාර පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 86කට දැවී යෑමත් සමඟිනුයි. ඔහුත් සමඟින් මහනුවර ඉනිම ගොඩ නැගූ කමිල් මිෂාර පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වූවා.  

මහනුවර ඉනිම වෙනුවෙන් පසු පෙළින් පිටියට පිවිසි වනුජ සහන් පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගනිද්දී කවින් බණ්ඩාර (09), නායක අහන් වික්‍රමසිංහ (13), පුලින තරංග (10), චාමික ගුණසේකර (0) සහ අශේන් ඩැනියෙල් (5) අඩු ලකුණු ලබා ගනිමින් දැවී යෑම හේතුවෙන් මහනුවර ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී පැතුම දුරස් වූවා.  

ඔවුන්ගේ ඉනිම තරගය අවසන් වීමට තවත් පන්දු 29ක් ඉතිරි ව තිබිය දී ලකුණු 313කට සීමා වූවා. ඒ වෙද්දී වනුජ සහන් සමඟින් අවසන් කඩුල්ලට එක් වූ නිම්සර අතරගල්ල අවසන් කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක් කළා. එහි දී නිම්සර අතරගල්ල පන්දු 14කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී අයන සිරිවර්ධන සහ දුශාන් හේමන්ත කඩුලු 3ක් බැගින් දවා ගත්තා. ඊට අමතර ව මොහොමඩ් ශිරාෂ් කඩුලු 2ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු සහ සොනාල් දිනූෂ කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Dambulla – කඩුලු 4ක් දැවී 332 (50.0) මිනෝද් භානුක 69, ලසිත් කෲස්පුල්ලේ 36, සනෝජ් දර්ශික 73, පවන් රත්නායක නොදැවී 118, අයන සිරිවර්ධන 21, පුලින තරංග 2/68 

Kandy – සියලුම දෙනා දැවී 313 (45.3) ලහිරු උදාර 86, කමිල් මිෂාර 94, තීක්ෂිල ද සිල්වා 19, වනුජ සහන් නොදැවී 44, මොහොමඩ් ශිරාස් 2/42, දුශාන් හේමන්ත 3/63, අයන සිරිවර්ධන 3/58 

Dambulla කණ්ඩායමට ලකුණු 19ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<