ශෙහාන් – ලහිරු 1 ක වූ NSL එක්දින තරගාවලිය

National Super League Limited Over Tournament

56

ශෙහාන් ප්‍රනාන්දු වැඩිම ලකුණුලාභියා ලෙසත් සහ ලහිරු කුමාර වැඩිම කඩුලුලාභියා ලෙසත් අසුන් වෙන්කර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (10) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

මෙම තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ Kandy සහ Dambulla කණ්ඩායම් ද්විත්වයයි. ඔවුනොවුන් පළමු වටයේ දී ද මීට පෙර හමු වූ අතර එම අවස්ථාවේ දී දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 3ක ජයක් හිමි කර ගත්තා 

තරගාවලියේ මෙතෙක් ගමන් මඟ 
  Team 1  Team 2  Results 
1  Jaffna  Colombo  Colombo කණ්ඩායමට කඩුලු 3ක ජයක්.  
2  Galle  Kandy   Kandy කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  
3  Kandy   Jaffna   Jaffna කණ්ඩායමට කඩුල්ලක ජයක්.  
4  Colombo  Dambulla  Dambulla කණ්ඩායමට කඩුලු 3ක ජයක්.  
5  Dambulla  Galle   Galle කණ්ඩායමට කඩුල්ලක ජයක්.  
6  Colombo  Kandy   Kandy කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  
7  Kandy   Dambulla  Dambulla කණ්ඩායමට කඩුලු 3ක ජයක්. 
8  Jaffna  Galle   Jaffna කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  
9  Galle   Colombo  Galle කණ්ඩායමට ලකුණු 14ක ජයක්.  
10  Dambulla  Jaffna  Dambulla කණ්ඩායමට කඩුලු 2ක ජයක්.  

 

තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැණුනේ ප්‍රසාද ලකුණු පුවරුව ක්‍රියාත්මක වූ අයුරිනුයි. ඒ අනුව සුපැහැදිලි ඉදිරියට පැමිණීමක් සිදු වී තිබුණේ දඹුල්ල ක්‍රීඩකයන්ගේ පමණයි. ඔවුන් තරග ත්‍රිත්වයක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 6ක් ලබා සිටියා. ගාල්ල කණ්ඩායම වෙතින් පමණක් පරාජයට පත් වූ ඔවුන් ලබා තිබූ දළ ලකුණු ලබා ගැනීමේ වේගය 0.233ක්.  

ඉන් අනතුරු ව මේ ලැයිස්තුවේ ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා ගනිමින් Kandy, Jaffna සහ Galle කණ්ඩායම් සම අසුන්වලට හිමිකම් කීවා. ඒ අනුව එම කණ්ඩායම් ත්‍රිත්වයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසන් මහා තරගය සඳහා කණ්ඩායම තෝරා ගැනීම සිදු වුණා. එහි දී 0.791ක් ලබා සිටි Kandy ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

Kandy සංචිතය: සහන් ආරච්චිගේ (නායක), ලහිරු උදාර, කසුන් අදිකාරි, අහන් වික්‍රමසිංහ, කමිල් මිෂාර (කඩුලු රකින්නා), රවිඳු රත්නායක, මොවින් සුබසිංහ, චමොද් සඳරු, චාමික කරුණාරත්න, පුලින තරංග, මිතුන් ජයවික්‍රම, ලහිරු කුමාර, නිපුන් ප්‍රේමරත්න, චාමික ගුණසේකර, අශේන් ඩැනියෙල්, වනුජ සහන්. 

Dambulla සංචිතය: මිනෝද් භානුක (නායක / කඩුලු රකින්නා), භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, දුශාන් හේමන්ත, අයන සිරිවර්ධන, රනිත ලියනාරච්චි, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), මොහොමඩ් ෂිරාස්, අසිත ප්‍රනාන්දු, චමිඳු විජේසිංහ, විශ්ව ප්‍රනාන්දු, මර්වින් අභිනාශ්, ලක්ෂාන් සඳකැන්. 

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවෝ 

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි වෙන්නේ Galle කණ්ඩායම නියෝජනය කළ 23 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු ශෙහාන් ප්‍රනාන්දු වෙතයි. ඔහු තරග 4ක ඉනිම් 4ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 249ක් ලබා ගන්නවා.  

ඊට පසුව මෙම ලැයිස්තුවට එක් වෙන්නේ Jaffna කණ්ඩායම නියෝජනය කළ 33 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු නිපුන් කරුණානායක. ඔහු Dambulla කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 108ත් සමඟින් තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 240ක් ලබා ගන්නවා.  

එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමි වෙන්නේ තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 225ක් ලබා ගත් Jaffna කණ්ඩායමේ 28 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු ජනිත් ලියනගේ වෙතයි. ඔහුගේ ඉනිම් අතර  Kandy කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 130ක් ද ඇතුලත් අතර එය මෙවර තරගාවලියේ ක්‍රීඩකයෙන් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.  

ඉන් අනතුරුව Kandy කණ්ඩායමේ කමිල් මිෂාර ලකුණු 221ක් ලබා ගනිමින් ද සහ Dambulla කණ්ඩායමේ පවන් රත්නායක ලකුණු 182ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවට එක් ව සිටිනවා.  

ඊට අමතර ව තරගාවලියේ ශතක ලැබූවන් අතර Dambulla කණ්ඩායමේ මිනෝද් භානුක ගේ නම ද සටහන් වෙනවා. ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 160ක්.  

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නෝ 

මෙතෙක් නිමා වූ තරගාවලියේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා වන්නේ Kandy කණ්ඩායමේ දකුණතින් වේග පන්දු යවන ලහිරු කුමාර. ඔහු තරග 4ක දී පන්දුවාර 32.4ක් යවමින් කඩුලු 9ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු අසුන වෙන් කර ගත්තා.  

එහි 2 වැනි ස්ථානය හිමි වෙන්නේ තරගාවලියේ එක් තරගයක් පමණක් ජයගත් Colombo කණ්ඩායමේ දෙඅතින් ම දඟ පන්දු යැවූ තරිඳු රත්නායකයි. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 8ක්.  

අනතුරු ව කඩුලු 7ක් බැගින් දවා ගත් Colombo කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සහ Dambulla කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු තෙවැනි අසුනේ සම ව අසුන් ගන්නවා. මේ අතුරින් ප්‍රභාත් ජයසූරිය Galle කණ්ඩායමට එරෙහිව ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමින් තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව දැක් වීමට ද සමත් වූවා.  

ඊට අමතර ව Kandy කණ්ඩායමේ චාමික ගුණසේකර සහ Galle කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ කඩුලු 6ක් බැගින් දවා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් ව සිටිනවා.  

මේ අතර මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ කණ්ඩායම ලෙසින් ගෞරවය දිනා ගත්තේ Jaffna කණ්ඩායම විසින් Kandy කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කඩුලු 9ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 360යි.  

වැඩියෙන් ම ප්‍රහාරයට ලක් වූ Kandy කණ්ඩායම ම මෙවර තරගාවලියේ අඩු ම ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමක් දවා ගත් කණ්ඩායම බවට ද පත් වූවා. ඔවුන් එම දක්ෂතාව දක්වන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Galle කණ්ඩායම ලකුණු 146කට දවා ගනිමිනුයි.   

National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට එක් වෙන Kandy සහ Dambulla කණ්ඩායම් 2ට මෙන් ම තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන්ට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්! 

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<