බටහිර ආසියාවේ බේස්බෝල් ගැටුමට පෙර

413
Courtesy - Srilankabaseball.lk

මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දී ය. රටවල් 6ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය එළඹෙන ජූලි මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙම ලිපිය ලියවෙන්නේ එම තරගාවලිය පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට ජපානයෙන් සහාය

ජපානයේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහාය මත ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම……….

බටහිර ආසියානු බේස්බෝල් කුසලානය 2019

14 වැනි වරට පැවැත්වෙන මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරන අතර වර්තමාන බටහිර ආසියානු බේස්බෝල් කුසලානයේ හිමිකරුවන් වන්නේ ද ශ්‍රී ලංකාවයි.

දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණය

මෙවර තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය සහ ඉරානය යන රටවල් සහභාගී වීමට නියමිතව ඇත.

මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ජූලි මස 01 වැනිදා සිට 06 වැනිදා දක්වාය. නමුත් එම දිනයන් හිදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (මැයි මස 30 වැනිදා සිට ජූලි 14 වැනිදා දක්වා) පැවැත්වෙන නිසාත්, මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ තරග වදින ප්‍රධාන රටවල් 3ක් වන ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව යන රටවල් වල ජනතාවගේ අවධානය ප්‍රධාන වශයෙන් හිමිවී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට නිසාත් තරගාවලිය කල් දැමීමට ආසියානු බේස්බෝල් සම්මේලනය තීරණය කරන ලදි.  

තරගාවලි ඉතිහාසය

ආසියානු බේස්බෝල් සම්මේලනය (Baseball Federation of Asia) විසින් මෙම තරගාවලිය ආරම්භ කරනු ලබන්නේ වර්ෂ 1995 දී ය. එම තරගාවලිය “ආසියානු බේස්බෝල් කුසලානය” ලෙස හැඳින්වූ අතර සෑම වසර 2කට වරක් පැවැත්විය.

ආසියානු බේස්බෝල් සම්මේලනයේ ලාංඡනය
Courtesy – albawaba.com

මෙවැනි තරගාවලියක් ආරම්භ කිරීමට මූලික හේතුව වූයේ ඒ වන විටත් වසර 4කට පැවැත්වුණු, ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රධානම බේස්බෝල් තරගාවලිය ලෙස සැලකෙන “ආසියානු බේස්බෝල් ශූරතාවය” (Asian Baseball Championship) සඳහා සහභාගී වීමට බේස්බෝල් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන තවත් ආසියානු රටකට අවස්ථාව සැලසීමය.

පළමු ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලිය පවත්වනු ලබන්නේ 1995 වසරේ පිලිපීනයේ මැනිලා නුවර දී ය. පළමු තරගාවලියේ දී ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ සත්කාරක පිලිපීනය යි. එහි අනුශූරතාවය තායිලන්තයට හිමි වූ අතර තෙවන ස්ථානය හිමිකර ගැනීමට ඉන්දියාව සමත් විය.

ඉන්පසු 2010 වසර දක්වා තවත් තරගාවලි 8ක් (1997, 1999, 2001, 2002, 2004, 2006, 2009, 2010)  සාර්ථකව පැවැත්වීමට හැකි විය.

Photos : Baseball Statisticians and Scorers appointment

ThePapare.com | Waruna Lakmal | 21/01/2019 Editing and re-using images without permission of ThePapare.com……

2010 වසරෙන් පසුව තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ 2012 වසරේ දී තරගාවලියේ ආකෘතිය වෙනස් විය. මෙතෙක් එක් තරගාවලියක් ලෙස පැවති ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලිය “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” සහ “නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලානය” ලෙස තරගාවලි 2ක් ලෙස පැවැත්වීමට තීරණය විය.

ඒ අනුව 2012 වසරේ බටහිර ආසියානු බේස්බෝල් කුසලානය පාකිස්තානයේ ලාහෝර් නගරයේ දී පැවැත්වෙන විට නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලානය තායිලන්තයේ පතුම් තනි නගරයේ දී පැවැත්විය.

එහි දී බටහිර ආසියානු බේස්බෝල් කුසලානය තමන් සතුකර ගැනීමට සත්කාරක පාකිස්තානය සමත් වූයේ ශ්‍රී ලංකාවට අනුශූරතාවයත්, ඉරානයට තෙවන ස්ථානයත් හිමිකර දෙමිනි.

2012 වසරේ බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායම
Courtesy – wbsc.org

පිලිපීනය විසින් නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලානය හිමිකර ගැනීමට සමත් වූයේ සත්කාරක තායිලන්තය පරාජය කරමිනි. හොංකොං රාජ්‍යයට එම තරගාවලියේ තෙවන ස්ථානය හිමි විය.

ඉන්පසු පිළිවෙළින් 2013, 2015 සහ 2017 යන වසරවල දී බටහිර ආසියානු බේස්බෝල් කුසලානය පාකිස්තානයේ දී පැවැත්වුණු අතර 2013, 2015 යන වසර වල ශූරතාවය හිමිකර ගැනීමට සත්කාරක පාකිස්තානය සමත් විය.

අවසන් වරට 2017 වසරේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති බටහිර ආසියානු බේස්බෝල් කුසලානය හිමිකර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවයි. එහි අනුශූරතාවය සත්කාරක පාකිස්තානයට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ඉරානයටයි.

තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන

ශ්‍රී ලංකාව පළමු වරට මෙම තරගාවලිය හා සම්බන්ධ වන්නේ 1995 වසරේ පිලිපීනයේ මැනිලා නුවර පැවති පළමු ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට තරගාවලිය තුළ මුල් ස්ථාන 3ට පැමිණීමට හැකිවන්නේ 2009 වසරේ දී ය. තායිලන්තයේ බැංකොක් නුවර පැවති 8 වැනි ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වූයේ එහි ශූරතාවය ඉන්දුනීසියාවත්, අනුශූරතාවය පාකිස්තානය විසිනුත් හිමිකර ගන්නා විටයි.

ඉන්පසු 2012 වසරේ දී පාකිස්තානයේ ලාහෝර් නුවර පැවති බටහිර ආසියානු කුසලාන තරගාවලියේ දී අනුශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ අවසන් තරගයේ දී සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ පරාජයට පත්වෙමිනි.

2013 වසරේ බටහිර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වූයේ ද පාකිස්තානයේ ලාහෝර් නුවර ය. එහි දී ද ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ දී සත්කාරක පාකිස්තානය හමුවේ පරාජයට පත්වෙමින් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

2015 වසරේ දී ශ්‍රී ලංකාව ප්‍රථම වරට නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ තරග වැදිනි. ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවති එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවන ස්ථානය හිමි වූයේ පිලිපීනය විසින් ශූරතාවයත්, සත්කාරක ඉන්දුනීසියාව විසින් අනුශූරතාවයත් හිමිකර ගන්නා විටය.

2015 වසරේ නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ ආරම්භක උළෙලේ අවස්ථාවක්
Courtesy – twitter.com

2017 වසරේ දී පැවති 13 වැනි බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ තම පළමු ජාත්‍යන්තර බේස්බෝල් ශූරතාවයට හිමිකම් කියමිනි.

2017 බටහිර ආසියානු බේස්බෝල් කුසලානය

එවර තරගාවලිය සඳහා සත්කාරක පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඉරාකය, ඉරානය සහ නේපාලය යන රටවල් සහභාගී විය. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති මෙම තරගාවලියේ දී 2015 වසරේ නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව නැවත බටහිර තරගාවලියට පැමිණි අතර නේපාලය පළමු වරට බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ තරග වැදීම විශේෂ කරුණක් විය.

තරගාවලිය මූලික වටයේ තරග A සහ B ලෙස කාණ්ඩ දෙකක් පැවැත්විය. සත්කාරක පාකිස්තානය, නේපාලය සහ ඉරාකය A කාණ්ඩය යටතේ තරග කළ අතර ශ්‍රී ලංකාව සහ ඉරානය B කාණ්ඩය යට‍තේ තරග වැදිනි.

ජාත්‍යන්තර බේස්බෝල් ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ දී

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමය (SLABSA) හට 2019 බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව පැවැත්වීමේ අවස්ථාව හිමිව තිබෙන අතර……..

එහි දී පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඉරානය සහ නේපාලය මුල් ස්ථාන 04 හිමිකර ගනිමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ අතර පළමු අවසන් පූර්ව තරගය ලෙස පාකිස්තානය සහ ඉරානය තරග කළහ. එහි දී ලකුණු 11-00ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට පාකිස්තානය සමත් විය.

දෙවන අවසන් පූර්ව තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නේපාලය තරග වැදුණු අතර එහි දී ලකුණු 11-00ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවයි.

ඒ වන විට පවත්වා තිබූ බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලි 03 දී ම ශූරයන් වූ පාකිස්තානු කණ්ඩායමේ ආධිපත්‍ය බිඳ හෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය හිමිකර ගත්තේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 4-2ක් ලෙස තරගය ජයග්‍රහණය කරමිනි.

2017 වසරේ බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම
Courtesy – wbsc.org

මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ දී තම උපරිමයෙන් දස්කම් දක්වා තම මව්බිමට කීර්තියක් ගෙන ඒමට ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමට හැකිවේවා’යි යන්න ThePapare.com අපගේ ප්‍රාර්ථනාවයි.

ශ්‍රී ලංකාවට පළමු වරට ජාත්‍යන්තර බේස්බෝල් තරගාවලියක උණුසුම රැගෙන එන මෙම 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ තරග වාර්තා, ඡායාරූප, එසැණ පුවත් සහ තවත් බොහෝ දේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටි. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<