Galle කණ්ඩායම අභිබවා Kandy කණ්ඩායම පෙරට

76
NSL 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තෙවැනි සතියේ තරග අද (24) අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ එතෙක් පළමු ස්ථානයේ රැදී සිටි Galle කණ්ඩායම අභිබවා යමින් Kandy කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් වූවා.

ඒ ඔවුන් අද Jaffna කණ්ඩායමට එරෙහි ව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟයි. ඔවුන් මේ වන විට තරග 6කට මුහුණ දෙමින් ජයග්‍රහණ 2ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු 70.735ක් ලබා සිටින අතර ගාලු ක්‍රීඩකයෝ තරග 5කට මුහුණ දෙමින් තරග 3ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 68.455ක් ලබා සිටිනවා.

අද දවසේ දී නිමා වූ තරගවල දී යාපනය කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු, මහනුවර කණ්ඩායමේ සහන් ආරච්චිගේ සහ චාමික කරුණාරත්න, දඹුලු කණ්ඩායම වෙනුවෙන් නවීන් ප්‍රනාන්දු සහ කොළඹ කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වෙනවා.

13 වැනි තරගය, හම්බන්තොට, මාර්තු 21-24, 2024, National Super League4 Day Tournament

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව

o කාසියේ වාසිය – Colombo

තරගයේ සිවු වැනි දිනය ආරම්භ වෙන්නේ දඹුලු ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 226ක් ලබා සිටියදීයි. ඔවුන් අද එම ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 299ක් බවට පත් වෙද්දී අත් හිටුවීමට තීරණය කරනවා.

ඒ අනුව ප්‍රතිවාදී කොළඹ කණ්ඩායම වෙත ජයග්‍රහණය වෙනුවෙන් ලැබුණ ඉලක්කය ලකුණු 330ක්. එම ගමනේ දී තරගය අවසන් වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 159ක් ලබා සිටියා.

දඹුලු ඉනිමේ දී පෙර දින තරගය අවසන් වන විට නොදැවී ලකුණක් පමණක් ලබා සිටි නවීන් ප්‍රනාන්දු පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගන්නවා. එය ඔහුගේ තරග 16ක් වන පළමු පෙළ තරගවල ක්‍රීඩා කළ හොඳම ඉනිම බවට පත් වෙනවා.

ජයග්‍රහණය සඳහා හඹා ගිය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ක්‍රිශාන් සංජුල. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නවා. ඊට අමතර ව හේෂාන් ධනුශ්ක, නිපුන් ධනංජය සහ දසුන් ශානක ද ලකුණු අතරට එක් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී මොහොමඩ් ශිරාෂ්, චමිඳු විජේසිංහ, මර්වින් අබිනාශ් සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (66.5) ලසිත් කෲස්පුල්ලේ 43, සනෝජ් දර්ශික 23, පවන් රත්නායක 35, චමිඳු විජේසිංහ 51, නවීන් ප්‍රනාන්දු 25, නිසල තාරක 4/77, ඉසිත විජේසුන්දර 3/44, දසුන් ශානක 2/35

Colombo – කඩුලු සියලුම දෙනා දැවී 210 (53.2) ක්‍රිශාන් සංජුල 49, දසුන් ශානක 42, දුනිත් වෙල්ලාලගේ 33, මොහොමඩ් ශිරාෂ් 3/65, නවීන් ප්‍රනාන්දු 2/38, මර්වින් අබිනාශ් 2/15

Dambulla – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 299 (93.2) මිනෝද් භානුක 83, සනෝජ් දර්ශික 21, සොනාල් දිනූෂ 31, චමිඳු විජේසිංහ 28, දුශාන් හේමන්ත 28, නවීන් ප්‍රනාන්දු 51, නිසල තාරක 2/48, නුවනිඳු ප්‍රනාන්දු 3/54

Colombo – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 159 (31.0) හේෂාන් ධනුශ්ක 27, ක්‍රිශාන් සංජුල 58, නිපුන් ධනංජය 25, දසුන් ශානක නොදැවී 26

තරගයේ විසඳුමක් නෑ.

14 වැනි තරගය, කොළඹ, මාර්තු 21-24, 2024, National Super League4 Day Tournament

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ

o කාසියේ වාසිය – Jaffna

තරගයේ අවසන් දිනය වෙද්දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරමින් සිටි යාපනය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් ලබා සිටි අතර ඔවුන් අද එම ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 291ක් පමණයි.

පෙර දින නොදැවී ලකුණු 42ක් ලබා සිටි රවිඳු ප්‍රනාන්දු අද පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් තම ලකුණු 58ක් ලබා ගනිමින් අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියා.

අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි නිපුන් මාලිංග පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව අවසන් කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 34ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 184ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ එම අභියෝගය කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද සහ චාමික කරුණාරත්න පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල සඳහා නොදැවුණ ලකුණු 81ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනා.

මහනුවර ඉනිමේ කඩුලු 4ක් ලකුණු 35කට දැවී ගොස් තිබිය දී සහන් ආරච්චිගේ සහ අහන් වික්‍රමසිංහ එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් එක් කරමින් ජයග්‍රහණයේ පළමු අඩිතාලම දැම්මා. එහි දී අහන් වික්‍රමසිංහ පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු මධුශංක ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත් අතර සංතුශ් ගුණතිලක සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (69.0) සඳුන් වීරක්කොඩි 33, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 26, ජනිත් ලියනගේ 83, සංතුශ් ගුණතිලක 29, නිම්සර අතරගල්ල 3/40, වනුජ සහන් 3/40

Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 369 (88.4) කමිල් මිෂාර 38, නිරෝෂන් දික්වැල්ල 26, අහන් වික්‍රමසිංහ 149, චාමික කරුණාරත්න 71, වනුජ සහන් 20,  ලහිරු මධුශංක 4/61, රවිඳු ප්‍රනාන්දු 2/73

Jaffna – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 291 (96.1) හසිත බෝයගොඩ 26, නිපුන් කරුණානායක 94, ලහිරු මධුශංක 20, රවිඳු ප්‍රනාන්දු 58, නිපුන් මාලිංග නොදැවී 20, අශේන් ඩැනියෙල් 3/44, වනුජ සහන් 3/59

Kandy – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 185 (35.3) සහන් ආරච්චිගේ නොදැවී 50, අහන් වික්‍රමසිංහ 47, චාමික කරුණාරත්න නොදැවී 51, ලහිරු මධුශංක 3/38

Kandy කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගාවලියේ මීළඟ තරග මේ මස 28 වැනිදා සිට පැවැත්වීමට නියමිත අතර එහි දී දඹුල්ල සහ ගාල්ල අතර තරගය දඹුල්ලේදීත්, කොළඹ සහ මහනුවර අතර තරගය පල්ලෙකැලේදීත් පැවැත්වීමට යෝජිතයි.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<