Team Kandy පළමු ජයග්‍රහණය වාර්තා කරයි

SLC National Super League 4 Day Tournament 2024

634
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය ලබා ගැනීමට Team Kandy කණ්ඩායම අද (03) සමත් වූවා. මෙය තරගාවලියේ වාර්තා වූ දෙවැනි ජයග්‍රහණයයි.

මීට පෙර මෙම තරගාවලියේ ජයග්‍රහණයක් වාර්තා කළේ Team Jaffna කණ්ඩායමයි.

මේ අතර අද අවසන් වූ දවසේ දී Team Kandy කණ්ඩායමේ වනුජ සහන්, Team Dambulla සනෝජ් දර්ශික, මිනෝද් භානුක සහ පවන් රත්නායක අර්ධ ශතක ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Team Galle කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් Team Dambulla කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Team Kandy සහ Team Colombo

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ

o කාසියේ වාසිය – Team Colombo

Team Colombo කණ්ඩායම තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 377ට පිළිතුරු ලෙසින් ගිය ගමනේ දී Team Kandy කණ්ඩායම පෙර දිනයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 241ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවි ලකුණු 320ක් ලබා ගනිමින් ඉනිම අත් හිටවූවා.

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී නොදැවී ලකුණු 141ක් ලබා සිටි පැතුම් නිස්සංක අද තම ඉනිම ලකුණු 151ක් දක්වා රැගෙන ගියා. ඔහු මේ වෙනුවෙන් පන්දු 186කට මුහුණ දුන් අතර හතරේ පහර 21ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුලත් කළා.

ඊට අමතර ව වනුජ සහන් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව නිසල තාරක කඩුලු 2ක් දවා ගත් අතර චමිඳු වික්‍රමසිංහ, ඉසිත විජේසුන්දර, චාමික එදිරිසිංහ සහ ලක්ෂිත මනසිංහ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ලකුණු 57ක් ඉදිරියේ සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Team Colombo ක්‍රීඩකයෝ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වූවා. ඔවුන් අද තම දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 102ක් පමණයි.

එම ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 19ක් තුළ දවා ගැනීමට Team Kandy පන්දු යවන්නෝ සමත් වූවා. එසේ වෙද්දී 7 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් එක් කිරීමට චමිඳු වික්‍රමසිංහ (22) සහ ලක්ෂිත මනසිංහ (29) සමත් වුවා.

අනතුරු ව ඉසිත විජේසුන්දර ද ලකුණු 26ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගනිද්දී වනුජ සහන් ලකුණු 45කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර අශේන් ඩැනියෙල් කඩුලු 3ක් ද, නිම්සර අතරගල්ල කඩුලු 2ක් සහ සහන් ආරච්චිගේ කඩුල්ලක් දවා ගත්තා.

එම ඉනිම අවසානයත් සමඟ ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි Team Kandy ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් කසුන් විදුර පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී නිසල තාරක, චාමික එදිරිසිංහ සහ ලක්ෂිත මනසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 377 (103.4) ක්‍රිශාන් සංජුල 31, නිපුන් ධනංජය 56, නුවනිඳු ප්‍රනාන්දු 46, හිමාෂ ලියනගේ 20, පැතුම් කුමාර 101, ලක්ෂිත මනසිංහ 79, සිතුම් දිසානායක 2/78, නිම්සර අතරගල්ල 2/72, වනුජ සහන් 3/88, අශේන් ඩැනියෙල් 2/81

Team Kandy – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 320 (74.1) පැතුම් නිස්සංක 151, කසුන් විදුර 33, අහන් වික්‍රමසිංහ 21, වනුජ සහන් 59, නිසල තාරක 2/83, නුවනිඳු ප්‍රනාන්දු 3/26

Team Colombo – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 102 (30.2) චමිඳු වික්‍රමසිංහ 22, ලක්ෂිත මනසිංහ 29, ඉසිත විජේසුන්දර 26, නිම්සර අතරගල්ල 2/26, වනුජ සහන් 4/45, අශේන් ඩැනියෙල් 3/27

Team Kandy – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 160 (32.1) පැතුම් නිස්සංක 29, කසුන් විදුර නොදැවී 76, කමිල් මිෂාර 22, සහන් ආරච්චි නොදැවී 21

Team Kandy කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Team Galle සහ Team Dambulla

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Galle

Team Galle ක්‍රීඩකයෝ පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 519ට පිළිතුරු ලෙස පිටියට පිවිසි Team Dambulla ක්‍රීඩකයෝ තම පළමු ඉනිම ලකුණු 269කට සීමා කර ගත් අතර ඔවුන් තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 86ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් තරගයේ පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 164ක් පිටු පසිනුයි සිටින්නේ.

Team Dambulla පළමු ඉනිමේ දී පෙර දින නොදැවී ලකුණු 45ක් ලබා සිටි සනොජ් දර්ශික අද තම ඉනිම අර්ධ ශතකයක් කරා රැගෙන ගියා. ඔහු පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා.

ඊට අමතර ව පෙර දින සිට පිටියේ නොදැවී රැදී සිටි මිනෝද් භානුක ද පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 56ක් ද සහ පවන් රත්නායක පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Team Galle කණ්ඩායමේ නිශාන් පීරිස් ලකුණු 72කට කඩුලු 5ක් දවා ගත් අතර නිමේෂ් විමුක්ති ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Galle – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 519 (120) ඔෂද ප්‍රනාන්දු 127, පසිඳු සූරියබණ්ඩාර 148, ලක්ෂාන් එදිරිසිංහ 78, මොහොමඩ් ෂමාස් 46, ධනංජය ලක්ෂාන් 69, නිමේෂ් විමුක්ති නොදැවී 26, චමිඳු විජේසිංහ 3/70

Team Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 269 (99.4) රනේෂ් සිල්වා 33, සනෝජ් දර්ශික 63, මිනෝද් භානුක 56, පවන් රත්නායක 63, නිශාන් පීරිස් 5/72, නිමේෂ් විමුක්ති  4/48

Team Dambulla – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 86 (29.0) රනේෂ් සිල්වා 26, සනෝජ් දර්ශික නොදැවී 26

මෙම තරගය හෙට (4) සිව් වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<