සූරි සහ චන්දි අර්ධ ශතක ලබා ගනී

SLC National Super League 4 Day Tournament 2024

735
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ තෙවැනි දිනය වූ අද (20) දවස නිමාවේ දී Team Galle කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.

මේ අතර අද දවසේ දී ද වැඩි කාලයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට පිටියේ විනිසුරුවන්ට සිදු වූවා. ඒ අතර Team Galle සහ Team Kandy අතර තරගය අද ආරම්භ වූයේ පස්වරුව ආසන්නයට පැමිණෙමිනුයි. පන්දුවාර 63කට සීමා වූ දිනයේ තවත් පන්දුවාර 5ක් යැවීමට තිබිය දී පැමිණි අයහපත් කාලගුණ තත්ත්වය මත එම තරගය අතර මඟ එදිනට නතර වූවා.

එමෙන් ම Team Colombo සහ Team Jaffna කණ්ඩායම් අතර තරගය අද ද ආරම්භ වූයේ ප්‍රමාද වෙමිනුයි. ඒ පෙර දින පැවැති වර්ෂාව හේතුවෙන් තෙත් සහිත වූ ක්‍රීඩාංගණය පිළිසකර කර ගැනීමට තරග පැවැත්වෙන කාලයෙන් කාර්තුවකට වැඩි කාලයක් ගත වූ බැවිනුයි.

එසේ වූවත් ඔවුන්ට අපේක්ෂිත පන්දුවාර ප්‍රමාණය සපුරා ගැනීමට හැකි වන්නේ නැහැ. සවස් කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට ඔවුන් අද දිනයට යවා තිබුණේ පන්දුවාර 42ක් පමණයි.

Team Galle සහ Team Kandy

o ක්‍රීඩාංගණය – හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

o කාසියේ වාසිය – Team Galle

ලකුණු 365ක පළමු ඉනිමේ ඉලක්කයක් කරා ගිය Team Galle ක්‍රීඩකයෝ පෙර දින තරගය නතර කරද්දී කඩුලු 3ක් දැවී ලකුණු 39ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිම නිමා කරන්නේ සියලුම දෙනා දැවී ලකුණු 205ක් රැස් කරමින්. එම ඉනිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුණා.

ඒ අතුරින් පෙර දින නොදැවී ලකුණු 17ක් ලබා සිටි පසිඳු සූරියබණ්ඩාර අද තම ඉනිම අර්ධ ශතකයක් කරා රැගෙන ගියා. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.

ඒ සමඟින් ඔහු තම පළමු පෙළ තරගවල ලකුණු 2000 සීමාව කිරීමට සමත් වූවා. ඔහු මේ වෙනුවෙන් තරග 30ක ඉනිම් 43ක් වැය කර තිබෙනවා.

ඊට අමතර ව පෙර දිනයේ ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් ද පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව සිවු වැනි කඩුල්ලට පන්දු 157ක දී ලකුණු 87ක සබඳතාවක් එක් කළ අතර එය  Team Galle කණ්ඩායමේ හොඳම කඩුලු සබඳතාව ද වූවා.

ඔවුන් දෙදෙනාට අමතර ව පසු පෙළින් පිටියට පිවිසි ප්‍රවීන් ජයවික්‍රම පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

එසේ වූවත් පසුපෙළ පිතිකරුවෝ සිවු දෙනෙක් ලකුණු 12ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනා. ඒ අනුව කඩුලු ලබා ගැනීමේ දී චාමික ගුණසේකර, අශේන් ඩැනියෙල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 160ක් ඉදිරියෙන් සිටිමින් නැවත වතාවක් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Team Kandy ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 365 (93.4) කසුන් විදුර 45, ලහිරු උදාර 100, සහන් ආරච්චිගේ 88, අහන් වික්‍රමසිංහ 63, මිලාන් රත්නායක 2/56, රමේෂ් මෙන්ඩිස් 2/75, උදිත් මධුශාන් 5/46

Team Galle – සියලුම දෙනා දැවී 205 (65.5) පසිඳු සූරියබණ්ඩාර 67, දිනේෂ් චන්දිමාල් 69, ප්‍රවීන් ජයවික්‍රම 18, චාමික ගුණසේකර 3/31, ලසිත් ඇඹුල්දෙණිය 3/71, අශේන් ඩැනියෙල් 3/64

Team Kandy – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 15 (4.0) කසුන් විදුර නොදැවී 6, ලහිරු උදාර නොදැවී 9

Team Colombo සහ Team Jaffna

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ 7.

o කාසියේ වාසිය – Team Colombo

ලකුණු 348ක ඉලක්කයක් කරා යන Team Jaffna ක්‍රීඩකයෝ පෙර දින තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබා සිටි අතර අද තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා සිටියා.

පෙර දිනයේ දී නොදැවී පිටියේ රැදී සිටි නිශාන් මධුශ්කට මෙන් ම හසිත බෝයගොඩට ද සැලකිය යුතු මට්ටමේ දායකත්වයක් තම කණ්ඩායම වෙනුවෙන් දැක්වීමට හැකියාව ලැබුණේ නැහැ.

දිනයේ පළමු කඩුල්ල ලෙසින් නිශාන් මධුශ්ක පන්දු 76කට සහභාගී වෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටිය දී දැවී ගියා.

අනතුරුව හසිත බෝයගොඩ ද පන්දු 79කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා සිටිය දී 5 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූවා.

ඔවුන් දෙදෙනාට අමතර ව නිපුන් කරුණානායක පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත් අතර සංතුශ් ගුණතිලක ද ලකුණු 24ක් ලබා ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය දැක් වූවා.

කඩුලු ලබා ගැනීමේ දී නිසල තාරක කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ඉසිත විජේසුන්දර කඩුලු 2ක් සහ ලක්ෂිත මනසිංහ කඩුල්ලක් ද දවා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 348 (121.1) ශෙවෝන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු 105, හිමාෂ ලියනගේ 56, චමිඳු වික්‍රමසිංහ 22, ලහිරු මධුශංක 3/39, රවිඳ ප්‍රනාන්දු 2/74, ජෙෆ්රි වැන්ඩර්සේ 2/77

Team Jaffna – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 184 (60.0) නිශාන් මධුශ්ක 60, හසිත බෝයගොඩ 42, නිපුන් කරුණානායක 31, සංතුශ් ගුණතිලක 24, නිසල තාරක 3/48, ඉසිත විජේසුන්දර 2/29

මෙම තරග 2 ම හෙට සිවු වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<