සිම්බාබ්වේ හිස් අතින් ගෙදර යැවූ වනිඳුගේ මෙහෙයුම

Zimbabwe Tour of Sri Lanka 2024

358
Zimbabwe Tour of Sri Lanka 2024- T20

2024 නව වසර එළැඹීමත් සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලි 2කට සහභාගී වීමට මෙරට පැමිණි සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට හිස් අතින් ම ගෙදර යෑමට සිදු වන තැනට වැඩ කටයුතු කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හැකි වූවා. දින 12ක් තුළ පැවැති තරග 6කින් ඔවුන්ට ජය ගැනීමට හැකි වූයේ විස්සයි විස්ස තරගාවලියේ 2 වැනි තරගය පමණයි.  

ඒ අනුව පළමුවෙන් පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-0ක් ලෙසත් සහ අනතුරුව පැවැති තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූවා.  

කෙසේ වෙතත් ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස තරග ඉතිහාසයේ මංගල ජයග්‍රහණය ලබා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ දී සමත් වීම කැපී පෙණුනා.  

පළමු තරගය: ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්. 

  • තරගයේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස්

දෙවැනි තරගය: සිම්බාබ්වේට කඩුලු 4ක ජයක්.  

  • තරගයේ වීරයා – Luke Jongwe

තෙවැනි තරගය: ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.  

  • තරගයේ වීරයා – වනිඳු හසරංග
  • තරගාවලියේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස්

නපුරු අංකයක් ලෙසින් සැලකෙන 13, වනිඳුට මෙරට විස්සයි විස්ස නායක ලැයිස්තුවේ හිමි වූ ස්ථානයයි. ඔහු එලෙසින් නායකත්වයට පත් වෙද්දී පළපුරුදු නායකයන් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක ද එම කණ්ඩායමට එක් ව සිටීම වනිඳුට මහත් අස්වැසීමක් වෙන්නට ඇති.  

ඊට අමතර ව එංගලන්තයට එරෙහිව තරග 3ක නායකත්වයේ කටයුතු කරන ලද කුසල් පෙරේරා ද සහ නව ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස නම් ලද ධනංජය ද සිල්වා ද මෙම කණ්ඩායමට එක් ව සිටීම වනිඳු ගේ කණ්ඩායමේ ශක්තිමත් බව විඳහා දැක් වූවා. ඒ අතරට පන්දු යවන්නෙක් ලෙසින් වැඩි තරග ප්‍රමාණයක අත්දැකීම් සපිරි දුශ්මන්ත චමීර ද කණ්ඩායමට එක් කර තිබුණා.  

මේ සියලු දෙනා සමඟින් තම නායකත්වයේ මංගල තරගාවලිය ජය ගනිමින් ජයග්‍රාහී ගමනක යෙදීමට වනිඳුට හැකියාව ලැබීම ප්‍රශංසනීයයි. එහි දී පළපුරුදු ක්‍රීඩයන් අතුරින් ඇන්ජලෝ මැතිව්ස් දැක් වූ දායකත්වය විශිෂ්ට වන අතර, අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් ද ඒ හා සමානව දායකත්වයක් ලැබුණේ නම්, තරගාවලියේ තීරණය මීට වඩා ශක්තිමත් වීමට ඉඩ තිබුණා.  

මේ අතුරින් කණ්ඩායමට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් මෙවර විස්සයි විස්ස තරග පිටියට කැඳවීම් ලබන්නේ 2021 මාර්තු මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් සමඟ පැවැති තරගාවලියෙන් අනතුරුවයි. එම තරගාවලියේ දී නායකත්වයේ කටයුතු කරන්නේ ද මැතිව්ස්.  

ඒ අනුව වසර 3කට පසුව විස්සයි විස්ස පිටියට පිවිසෙන මැතිව්ස් තමන් සහභාගී වූ පළමු තරගයේ දී ම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන අතර තරගාවලිය අවසන් කරන්නේ තරගාවලියේ වීරයා ලෙසින් ද පිදුම් ලබමින්. මැතිව්ස් ඒ දක්වා විස්සයි විස්ස තරගාවලි 36කට එක් ව සිටි අතර තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාවයි මේ.  

දෙරට පිතිකරු දක්ෂතා අතුරින් මැතිව්ස් එම ලැයිස්තුවේ පළමු ස්ථානයට ද පත් වෙනවා. ඔහු තරග 3ක ඉනිම් 2ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව අර්ධ ශතකයක් සමඟින් ලකුණු 112ක්. එහි සාමාන්‍ය දැක්වෙන්නේ 112.0ක් ලෙසයි. පන්දු යවන්නෙක් ලෙසින් ද මෙම තරගාවලියේ දී ක්‍රියාත්මක වූ මැතිව්ස් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 2ක්.  

මේ අතර 2024 වසර එක්දින ශතකයකින් වැඩ ඇල්ලු උප නායක චරිත් අසලංක මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතුරින් 2 වැනි ස්ථානයට පිවිසියා. ඔහු තරග 2ක ඉනිම් 2ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 85ක් ලබා ගනිමින් එම ස්ථානයට පිවිසෙද්දී තෙවැනි ස්ථානය කුසල් මෙන්ඩිස් සතු වුනා. ඔහු තරග 3ක ඉනිම් 3 දී ලකුණු 54ක් ලබා ගනිමින් මෙම ස්ථානය තහවුරු කර ගත්තා.  

කඩුලුලාභී පන්දු යවන්නන් අතුරින් නායක වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක් වූ පළමු වැන්නා බවට පත් වුනා. ඔහු තරග 3 දී පන්දු වාර 12ක් යවමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 7ක්. ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමින් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව ද ඔහු සතු කර ගත්ත ද ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු ප්‍රමාණය ගැන නම් සෑහීමකට පත් විය නොහැකියි.  

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය කඩුලු 6ක් දවා ගත් මහීෂ් තීක්ෂණ ද සහ තෙවැනි ස්ථානය කඩුලු 3ක් ලබා ගත් දුශ්මන්ත චමීර ද සතු වුනා.  

පෙර කී පරිදි කණ්ඩායමට එක් වූ ජ්‍යෙෂ්ඨයන් වූ දසුන් ශානක සහ කුසල් පෙරේරාගෙන් මීට වඩා කණ්ඩායමට දායකත්වය ලැබිය යුතුව තිබුණා. දසුන් තරග 3ක දී ලකුණු 35ක් පමණක් ලබා ගනිද්දී, කුසල් තරග 2ක දී ලබා ගත්තේ ලකුණු 17ක් පමණයි. ඔවුන් තව දුරටත් තම අතුරුදහන් වූ පිතිකරු රිද්මයන් සොයන ආකාරයයි අපට මෙම තරගාවලියේ දී පෙණුනේ.  

ධනංජය ද සිල්වා තමන්ට ලැබුණ එක ම තරගයේ දී නොදැවී ක්‍රීඩා කරමින් ජාමෙ බේරාගත් අතර බලාපොරොත්තු තබා සිටි පැතුම් නිස්සංක ද තම දක්ෂතා අතරට පිවිසියේ ඉස්තාලය වැසීමට ඔන්න මෙන්න තිබූ අවසන් තරගයේ දීයි. එමෙන් ම සදීර සමරවික්‍රම ද  කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දායකත්වය ගැන කිසිසේත් ම සෑහීමකට පත් විය නොහැකියි.  

ඉදිරිපෙළ වළල්ලේ පිතිකරුවන් වන ඔවුන් නිරන්තර ව සෑම තරගයක දී ම පිබිදී සිටිය යුතුයි. ඔවුන්ගේ දක්ෂතා කණ්ඩායමට ලැබෙන්නේ තරගයක් හැර තරගයක් නම්, එසේත් නැත්නම් තරගාවලියක් හැර තරගාවලියක දී නම් එහි සෙතක් නැත.  

පන්දු යවන්නන් අතුරින් වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දුශ්මන්ත චමීරට අමතර ව අනෙකුත් පන්දු යවන්නන්ගේ දායකත්වය ඉතා අඩු මට්ටමක පැවැතියා. මේ අතුරින් කඩුල්ලක් දවා ගැනීමේ අඩු ම සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක තම දක්ෂතා රඳවා තබා ගැනීමට හැකි වූයේ මහීෂ් තීක්ෂණට පමණයි. එය 9.16ක්.   

වනිඳු කඩුල්ලක් දවා ගැනීම සඳහා ලබා දුන් සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 10 ඉක්මවා ගිය අතර දුශ්මන්ත ගේ පන්දු යැවීම දැක් වුනේ කඩුල්ලකට සාමාන්‍ය ලකුණු 27.00ක් ලෙසයි. එය පැසසිය යුතු මට්ටමකට ගෙන ඒම ඔවුන්ගේ යුතුකමක් කර ගත යුතුයි.  

අනෙකුත් පන්දු යවන්නන් වූ  ඩිල්ශාන් මධුශංක ලකුණු සාමාන්‍ය 23.00ක් ලබා දෙද්දී, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු සාමාන්‍ය 31.50ක් ලබා දෙනවා.  

ලෝක කුසලාන තරගාවලියක් අභිමුව නිමා වූ මෙම තරගාවලියේ මෙම දක්ෂතා”  තරමකට සතුටු විය හැකි තත්ත්වයක පමණක් තැබිය හැකියි. තරගාවලිය නිරීක්ෂණය කිරීමේ දී දැක්වෙන එම දක්ෂතාවල වැඩි පිබිදීමක් ඉතා නුදුරේ දී ම සිදු විය යුතුව තිබේ.   

එහි වැඩි අවශ්‍යතාවක් දැනෙන්නේ ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායමේ මෑත කාලීන ඉපිලීම තරම් ඉපිලීමක් කණ්ඩායමක් ලෙසින් ශ්‍රී ලංකාව වෙතින් දකින්නට නොලැබීම නිසයි.  

ශ්‍රී ලංකාව තරගාවලියට අවතීර්ණ වූ පළමු තරගයේ ලැබූ ජයග්‍රහණය වාසනාවට හිමි වූ දෙයක් මිස දක්ෂතාවට ලැබූ දෙයක් නොවන බැව් වටහා ගත යුතුයි. එම තරගයේ තීරණය අවසන් පන්දු 2 දී තීරණය වන තරමට සිම්බාබ්වේ කණ්ඩායම තම දක්ෂතා මුවහත් කරගෙන සිටියා.  ඔවුන් ඒ බැව් දෙරට අතර පැවැති දෙවැනි තරගයේ දී කදිමට ඔප්පු කර පෙන්වනවා. 

නමුත්, ක්‍රිකට් යනු එවැන්නක් යනුවෙන් පෙන් වූ ඔවුන් තෙවැනි තරගයේ දී ඇද වැටෙන්නේ දරුණු ප්‍රපාතයකට. එය ඔවුන්ගේ දුර්වලතාවක් මිස අපේ දැවැන්ත පිබිදීමක් ලෙසින් සැලකිය නොහැකියි. එසේ වන්නේ අපේ බලඇණියට තෙවැනි තරගයේ දී කළ වික්‍රමය ම දෙවැනි තරගයේ දී ද තරමකින් හෝ කිරීමට හැකි වී නම් යන සිතුවිල්ලේ සිටයි.  

  • ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස තරගාවලියේ සුවිශේෂී කඩඉම්

351: ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ විස්සයි විස්ස තරග ඉතිහාසයේ කණ්ඩායම් 2ක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව දෙරට අතර පැවැති 2 වැනි තරගයේ දී වාර්තා වුනා 

ඔවුන් ඊට පෙර තරගයේ දී ද ලකුණු 287ක් ලබා ගත් අතර එය 2012 වසරේ හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා සිටි ලකුණු 282 අභිබවා යන්නක් වුනා.  

88: සිම්බාබ්වේ කණ්ඩායමක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දැවී ගිය අඩු ම ලකුණු ප්‍රමාණය.  

ඊට පෙර ඔවුන් ගේ දුර්වල ම ඉනිම වී තිබුණේ 2010 වසරේ Providence හි දී නවසීලන්තය ඉදිරියේ ලකුණු 84කට දැවී යෑමයි.  

118: සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති 2 වැනි තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් සහ චරිත් අසලංක එක් ව 5 වැනි කඩුල්ලට වාර්තා කරන ලද ලකුණු ප්‍රමාණය එතෙක් මෙතෙක් විස්සයි විස්ස පිටියේ 5 වැනි කඩුල්ල සඳහා වන හොඳම සබඳතාවයි.  

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ භානුක රාජපක්ෂ සහ චරිත් අසලංක වෙතයි. ඔවුන් දෙදෙනා 2021 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව ලබා සිටි ලකුණු 86 එහි එතෙක් රැදී තිබුණා.  

50: සිම්බාබ්වේ කණ්ඩායමේ දකුණිතින් මඳ වේග පන්දු යවන Blessing Muzarabani මෙම තරගාවලියේ දී තම විස්සයි විස්ස කඩුලු 50 කඩඉමට පිවිසීමට සමත් වූවා. 

39: සිම්බාබ්වේ විස්සයි විස්ස පිටියේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැකගත් ක්‍රීඩකයා ලෙසින් Ryan Burl පත් වූනා. ඊට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ උඩ පන්දු 36ක් රැකගෙන සිටි Sikandar Raza වෙතයි. 

4: සිම්බාබ්වේ විස්සයි විස්ස පිටියේ තරගයක දී වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැකගත ක්‍රීඩකයා ලෙසින් Wellington Masakadza දෙරට අතර පැවැති පළමු තරගයේ දී ඉතිහාසයට එක් වුනා.  

ඊට පෙර එහි වාර්තාව රැදී තිබුණේ 2015 වසරේ දී පාකිස්තානයට එරෙහිව Lahore පිටියේ දී Vusi Sibanda රැකගෙන සිටි උඩ පන්දු 3යි.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<