ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතියේ තරග (28) නිමා වූ අතර එහි දී පැවැති තරග ද්විත්වය ම විසඳුමකින් තොරව අවසන් වුණා.
එම තරගත් සමඟින් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වූ අතර එහි දී ප්‍රසාද ලකුණු 36.94ක් ලබා ගත් දඹුල්ල කණ්ඩායමත් සහ ප්‍රසාද ලකුණු 19.168ක් ලබා ගත් කොළඹ කණ්ඩායමත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
එම කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වෙන අවසන් මහා තරගය මැයි මස 04 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
>>විනුක සහ සහන් ශතක සබඳතාවයක<<
මහනුවර සහ දඹුල්ල අතර තරගය, හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 451ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 366ක් ලබා ගත්තා.
තරගය සිව් වැනි දිනයට ආරම්භ වෙන්නේ ඔවුන්ගේ ඉනිමේ කඩුලු 6ක් දැවී ලකුණු 224ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 11ක් ද සහ වනුජ සහන් නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා අතුරින් පළමුවෙන් ම ඉනිම හැර යන්නේ වනුජ සහන්. ඔහු දැවී යන විට පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා. අශේන් බණ්ඩාර ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 244කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත්තා.
ඔහු යසිරු රොද්‍රිගෝ (19) සමඟ එක් වෙමින් 8 වැනි කඩුල්ලට පන්දු 143ක දී ලකුණු 56ක් සහ චාමික ගුණසේකර (නොදැවී 7) හා එක් වෙමින් 9 වැනි කඩුල්ලට පන්දු 130ක දී ලකුණු 50ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ 20 හැවිරිදි වියේ පසුවෙන නිසල අබේරත්න ලකුණු 106කට කඩුලු 5ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා.
ඊට අමතර ව කවිඳු පතිරත්න කඩුලු 2ක් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු, ශක්ති උදාර සහ අකිල දනංජය කඩුල්ල බැගින් දවා ගත්තා.
ලකුණු 95ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 110ක් ලබා සිටියා. එම ඉනිමේ දී ලසිත් කෲස්පුල්ලේ පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත් අතර කවින් බණ්ඩාර පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී රවිඳු ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ලක් දවා ගත්ත.
තරගයේ කෙටි ලකුණු පුවරුව
දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 451 (133.5) ලසිත් කෲස්පුල්ලේ 22, ධනංජය ලක්ෂාන් 53, විශාද් රන්දික 104, අංජල බණ්ඩාර 128, කවිදු පතිරත්න 78, දිනුර කළුපහන 2/86, රවිඳු ප්‍රනාන්දු 3/76, ජෙෆ්රි වැන්ඩර්සේ 3/53
මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 366 (136.0) පවන්ත වීරසිංහ 60, විනුක රූබසිංහ 70, සහන් ආරච්චිගේ 58, අශේන් බණ්ඩාර 94, වනුජ සහන් 25, කවිඳු පතිරත්න 2/65, නිසල අබේරත්න 5/106
දඹුල්ල – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 110 (22.0) ලසිත් කෲස්පුල්ලේ 50, කවින් බණ්ඩාර 26, රවිඳු ප්‍රනාන්දු 2/22
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය දඹුල්ල කණ්ඩායමට.)
- ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්රිකට් සභාපති ධුරයට සමු දෙයි!
- 2026 LPL තරගාවලියට දින නියම වෙයි
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
- ශ්‍රී ලංකා කාන්තා ක්රිකට් නව පුහුණුකරුවෙක් යටතට
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
ගාල්ල සහ කොළඹ අතර තරගය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 337ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 273ක් පමණයි.
ඒ අනුව ලකුණු 64ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තම 2 වැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 224ක් ලබා ගන්නවා.
තරගය අවසන් දිනයට ආරම්භ වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 158ක් ලබා සිටි අතර ඒ වෙද්දී රනේෂ් සිල්වා නොදැවී ලකුණු 52ක් ලබා සිටි අතර සැදෑ ආරක්ෂකවරයා ලෙසින් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා අතුරින් ප්‍රභාත් ජයසූරිය ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා. රනේෂ් සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 59ක්. ඒ වෙද්දී ඔහු පන්දු 121කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 6ක් එක් කර තිබුණා.
ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව අගනුවර ඉනිමේ ඉතිරි කඩුලු 5 ලකුණු 30ක දී දවා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වෙනවා.
එහි දී නිම්සර අතරගල්ල සහ කේශර නුවන්ත කඩුලු 3ක් බැගින් ද, උදිත් මදුශංක සහ අසංක මනෝජ් කඩුලු 2ක් බැගින් ද දවා ගන්නවා.
ජයග්‍රහණය සඳහා ලකුණු 289ක් හඹා යන ඉනිමකට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 271ක් ලබා සිටියා.
එම ඉනිමේ ආරම්භක කඩුල්ල ලකුණු 6ක් වෙද්දී දැවී ගිය ද 2 වැනි කඩුල්ලට පන්දු 131ක දී ලකුණු 124ක සබඳතාවක් එක් කිරීමට නිපුන් ධනංජය සහ ඔෂද ප්‍රනාන්දු සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ඔෂද ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.
නිපුන් ධනංජය ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 87ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා.
ඉන් අනතුරු ව පිටියට එක් වූ නායක සදීර සමරවික්‍රම සහ කෙවින් පෙරේරා එක් ව බලාපොරොත්තු සහගත ඉනිමක නිරත වීමට සමත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 85ක සබඳතාවක් එක් කරනවා. ජයග්‍රහණයට ලකුණු 48ක් තිබිය දී සදීර සමරවික්‍රම දැවී යෑමත් සමඟින් එම සබඳතාව බිඳී යනවා.
ඒ වෙද්දී සදීර සමරවික්‍රම පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා. කෙවින් පෙරේරා තරගය අවසන් වන විට පන්දු 43කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා. ඊට අමතර ව මුදිත ලක්ෂාන් පන්දු 16ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී කවිජ ගමගේ ලකුණු 46කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කසුන් රාජිත, ප්‍රමෝද් මදුශාන් සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 337 (97.2) රවිඳු රසාන්ත 32, ජනිත් ලියනගේ 98, කවිජ ගමගේ 40, ප්‍රභාත් ජයසූරිය 24, ප්‍රමෝද් මදුශාන් 28, කසුන් රාජිත 31, උදිත් මදුශාන් 2/30, අසංක මනෝජ් 2/63, කේශර නුවන්ත 2/99, මුදිත ලක්ෂාන් 3/63
ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 273 (82.5) ඔෂද ප්‍රනාන්දු 39, ශෙහාන් ප්‍රනාන්දු 45, සදීර සමරවික්‍රම 69, කෙවින් පෙරේරා 34, මුදිත ලක්ෂාන් 50, ප්‍රමෝද් මදුශාන් 3/33, කවිජ ගමගේ 2/40
කොළඹ – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 224 (65.0) අසිත වන්නිනායක 24, ධනංජය ලක්ෂාන් 59, රනේෂ් සිල්වා 59, ප්‍රභාත් ජයසූරිය 28, උදිත් මදුශාන් 2/32, කේශර නුවන්ත 3/83, අසංක මනෝජ් 2/42, නිම්සර අතරගල්ල 3/28
ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 271 (44.0) ඔෂද ප්‍රනාන්දු 50, නිපුන් ධනංජය 87, සදීර සමරවික්‍රම 52, කෙවින් පෙරේරා නොදැවී 41, කවිජ ගමගේ 2/46
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය කොළඹ කණ්ඩායමට.)
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















