“ස්ටොක්ස් වෙනුවට බට්ලර්ට නායකත්වය දුන්නොත් මොකද?”

411

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙහි අවම වශයෙන් එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව තමන්ට මඟ හැරී යාමට වැඩි ඉඩකඩක් පවතින බව එංගලන්ත නායක ජෝ රූට් පසුගිය දා මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේ එම වගකීම වත්මන් උපනායක බෙන් ස්ටෝක්ස් හට පැවරීමට තමන් ඇතුළු කණ්ඩායම් කළමනාකාරිත්වය අපේක්ෂාවෙන් පසුවන බවg ඉඟියක් ද ලබා දෙමිනි.

රූට් නැති නිසා නායකත්වයට වෙනත් අයෙක්

දෙවන වරටත් පිය පදවිය අපේක්ෂාවෙන් පසුවන රූට් ප්‍රකාශ කර සිටියේ ජූලි මස පළමු සති කිහිපය තුල ක්‍රියාත්මක කිරීමට නියමිත තරග සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බැවින් මේ අවස්ථාවේ දී ඒ සඳහා ගත යුතු සුදුසු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම වැදගත් බවයි. 

මේ අතර රූට්ගෙන් පුරප්පාඩුව වන නායකත්ව වගකීම භාර දීම සඳහා ස්ටෝක්ස්ගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් තමන් යම් දෙගිඩියාවකින් පසුවන බව ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී හිටපු එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන් අවධාරණය කර සිටි අතර මෙය ඔහුගේ කර මත පැවරෙන අමතර පීඩනයක් නිසාවෙන් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට එය බාධාවක් වීමේ ඉඩකඩක් පවතින බව පීටර්සන් එහි දී පෙන්වා දුන්නේය.

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් පෑ හැකි ක්‍රීඩකයෙකුගේ සේවාව කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි තීරණාත්මක සාධකයක් විය හැකි නිසාවෙන් ස්ටොක්ස්ට ඔහුටම ආවේණික වූ තරග රටාවෙහි නියැලීමේ නිදහස ලබා දිය යුතු ආකාරය පිළිබඳව ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් විය.

කෙටි කාලසීමාවකට වූවද කණ්ඩායම මෙහෙයවීමේ භාරධූර කාර්‍යභාර්‍ය තමන්ට පැවරුණු අවස්ථාවේ දී එම පීඩනය නිසියාකාරව කළමනාකරණය කර ගත නොහැකිව අපහසුතාවට පත්වූ ආකාරය සිහිපත් කළ පීටර්සන් එහි දී පෙන්වා දී සිටියේ මෙම භූමිකාව නිරූපනය කිරීමට අවශ්‍ය නායකත්ව ගුණාංගයන්ගෙන් බොහොමයක් තමන් බට්ලර් තුලින් දකින නිසාවෙන් එම රාජකාරිය ඉටු කිරීමේ වගකීම ඔහුට පැවරෙන්නේ නම් තමන් වඩාත් සතුටු වන බවයි.

එංගලන්ත ප්‍රේක්ෂකයින් දැක්වූ ප්‍රතිචාරයට ECBයෙන් පැසසුම්!

“අපේ ක්‍රිකට් ඉතිහාසය පුරාවටම මම දැකපු දෙයක් තමයි සාම්ප්‍රදායික ක්‍රිකට්වලට එහා ගිහින් තමන්ටම ආවේණික දෙයක් කරන්න උත්සහ කරපු බොහෝ ක්‍රීඩකයින්ට නායකත්වය ලැබීමත් එක්ක ඔවුන් කලින් පෙන්නපු සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙන්න බැරි වුන එක. හොඳම උදාහරණය වෙන කවුරුත් නෙමෙයි මම.”

“මගේ ක්‍රිකට් ජීවිතේ පහුකරපු අමාරුම කාලසීමාව ඒක කිව්වොත් නිවැරදි. මට ඇත්තටම දුන්න රාජකාරිය හරියාකාරව ඉටු කරන්න බැරි වුනා. ඒකට ලොකුම හේතුවක් වුනේ මම ඒ දේ ආසාවෙන් නොකරපු එක. මගේ ආකල්පවල ඉඳලා හැමදෙයක්ම නායකත්වය වෙනුවෙන් කැප කරන්න උන නිසා මම ඒකට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. ඒ වගේම කණ්ඩායමෙන් උනත් මට ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ.”

නව කොරෝනා වයිරසයෙහි ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟින් ක්‍රිකට් ඇතුළු ලොව පුරා පැවැත්වීමට තිබූ විවිධ ක්‍රීඩා ඉසව් රැසක් කල් දැමීමට හෝ අවලංගු කිරීමට තරග සංවිධායකවරුන් පියවර ගත් අතර මේ වන විට දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන්නේ එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම අතර ජූලි 8 වැනිදා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ආරම්භයත් සමඟිනි.

හෙට්මයර්, බ්‍රාවෝ, පෝල්ගේ ඉවත් වීම ගැන හෝල්ඩින් කලකිරීමෙන්

කොදෙව්වන්ගේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ අයර්ලන්තය යන රටවල් එංගලන්තයේ තරග සංචාරය කිරීමට සූදානමින් පසුවන අතර දැනට එසේ පැවැත්වෙන සෑම තරගයක්ම ක්‍රීඩාලෝලීන් නොමැති හුදකලා, සංවෘත ක්‍රීඩාංගණයන් තුල දියත් කිරීමට බලාපොරොත්තු වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

නව කොන්දේසි යටතේ තරග වැදීමට සිදු වීම සම්බන්ධයෙන් හඬ අවදි කළ පීටර්සන් එහි දී ප්‍රකාශ කර සිටියේ මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුල දී අදාළ වෙනස්කම්වලට අනුගත වෙමින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට සහය දැක්වීම ක්‍රීඩකයින් ඇතුළු සියලු දෙනාගේම යුතුකම බවයි.

“තරග බලන්න කවුරුත් නැති නිසා නිකන් පුහුණු තරග ක්‍රීඩා කරනවා වගේ දැනෙන්න පුළුවන්. අනික පන්දුවාර 100ක් වගේ කවුරු හරි කණ්ඩායමක් යවන කොට පොඩ්ඩක් දිරි ගන්වලා මානසික මට්ටම උඩට ගන්න විදියකුත් මේ ක්‍රමයේ දී නැති නිසා ක්‍රීඩකයොන්ට වුනත් එච්චර පහසු වෙන්නේ නැහැ පිටිය මැද්දට ගිහින් සෙල්ලම් කරන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<