හෙට්මයර්, බ්‍රාවෝ, පෝල්ගේ ඉවත් වීම ගැන හෝල්ඩින් කලකිරීමෙන්

6089
Hetmyer, Bravo, Paul pulling out of England Tests

ෂිම්රොන් හෙට්මයර්, ඩැරන් බ්‍රාවෝ සහ කීමෝ පෝල් එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගී වන සංචිතයෙන් ඉවත් වීමට ගත් තීරණය අවාසනාවන්ත එකක් ලෙස බටහිර ඉන්දීය හිටපු වේගපන්දු ‍යවන ක්‍රීඩක සහ වර්තමාන ක්‍රිකට් විචාරක මයිකල් හෝල්ඩින් පවසා ඇත. එම තීරණය සම්බන්ධයෙන් ඔහු එම ක්‍රීඩකයන්ට දොස් පවරන්නේ නැති බවත් කියා සිටියේය. 

>> පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට උසස් වීම්!

පසුගිය මාර්තු මාසයේ දී ලොව පුරා වසංගතයක් ලෙස පැතිර ගිය නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය නිසා ලොව පුරා සියලු තරග අවලංගු කිරීමට සිදුවිය. සම්පූර්ණ අවලංගු කිරීම් වලින් මාස 3කට පසුව ක්‍රිකට් ලෝකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින අවස්ථාවක දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එංගලන්තයේ ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වීමට තීරණය කර ඇත.  

COVID -19 වසංගතය සහ ඒ සම්බන්ධයෙන් ඇති සෞඛ්‍ය අවධානම නිසා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය තම ක්‍රීඩකයින්ට ලබා දී ඇති ආරක්ෂක පියවර පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් සංචාරයෙන් ඉවත් වීමට එම ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට අවසරය ලබාදී තිබිනි. 

ඒ අනුව එම සංචාරය සඳහා නම් කර සිටි ෂිම්රොන් හෙට්මයර්, ඩැරන් බ්‍රාවෝ සහ කීමෝ පෝල් එලෙස කණ්ඩායමෙන් ඉවත් වන බව පසුගියදා පවසා තිබිනි. 

66 හැවිරිදි මයිකල් හෝල්ඩින් තමාගේම Youtube නාලිකාව සඳහා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පලකර තිබිනි. 

“සංචාරය තහවුරු කිරීමට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සෑම ක්‍රීඩකයෙකුටම සහ සමස්ත මහජනතාවට පවසා සිටියා තමන් කිසිවෙකුට මේ සංචාරය සඳහා යාමට බල නොකරන බව.”  

“කිසියම් ක්‍රීඩකයෙක් සංචාරය කිරීම පිළිබඳව ඔවුන්ට නිශ්චිතවම විශ්වාස නැති බව තීරණය කළහොත් ඔවුන්ට ඉවත් විය හැකි ක්‍රියාමාර්ග ගැන ක්‍රීඩකයන් දැනුවත් කළා. මේ අනුව ඉහත ක්‍රීඩකයන් වන ෂිම්රොන්, බ්‍රාවෝ හා පෝල් ඉවත් වුනා.”  

“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් එය අවාසනාවන්ත යැයි මම සිතනවා. COVID -19 පවතින තත්ත්වයක දී නිසා ඔවුන් එංගලන්තයට යා යුතු යැයි මම කිසිවෙකුට කියෙන්නේ නෑ. මේ සංචාරයේ දී යමෙකු අසනීප හෝ ඊටත් වඩා දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවිය හැකියි. නමුත් ඒ සමඟම මම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එය අවාසනාවක් යැයි සිතිය හැකියි. මන්ද මේ අය තරමක් දක්ෂතා තිබෙන ක්‍රීඩකයන්. මේ ක්‍රීඩකයන් මඟ හැරේවි.” 

>> ඉදිරි කාලය පන්දු යවන්නන්ට වගේම පිතිකරුවන්ටත් අමාරුයි!

වසර දෙකක දීර්ඝ කාලයක් තිස්සේ පැවති මණ්ඩලය සමඟ ඇති වූ ආරවුලකින් පසුව බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රීඩාව සඳහා පිවිසි අතර මෙම සංචාරය සඳහා බ්‍රාවෝගේ නොපැමිණීම හෝල්ඩින් විසින් විශේෂයෙන් සඳහන් කර තිබිනි. බ්‍රාවෝගේ නොපැමිණීම පිළිබඳව හෝල්ඩිං කලකිරීමට පත්ව ඇත. එපමණක් නොව හෙට්මයර් 2019 වසරේ දී සංචාරක එංගලන්ත කණ්ඩායම තරග 2-1ක් ලෙස පරාජය කළ ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු වූ බවත් ඔහුගේ නොපැමිණීම වඩාත් දැනෙනු ඇති බවත් හෝල්ඩින් පවසා තිබිනි. 

“මට කණගාටුයි, විශේෂයෙන්ම බ්‍රාවෝ නොයෑම නිසා. බ්‍රාවෝ ඔහුගේ වෘත්තිය නැවත පණ ගැන්විය යුතු යැයි මම සිතනවා.” හෝල්ඩින් පැවසීය.  

“ඔහු ඉතා දක්ෂ ලෙස ක්‍රිකට් ගමන ආරම්භ කළ අතර, සෑම කෙනෙකුම සිතුවේ ඔහු තවත් බටහිර ඉන්දීය පිතිකරුවෙකු වනු ඇතැයි කියායි. නමුත් ඔහු එය සැබවින්ම ඉටු කළේ නෑ.”  

“මම හිතන්නේ ඔහුට දැන් වැඩිපුර ක්‍රිකට් ක්‍රීඩා කළ හැකියි. විශේෂයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට, ඔහුට නැවත ධාවන පථයට පැමිණීමට හැකි බවත් ඔහුට සැවොම බලාපොරොත්තු වන ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු වීමට හැකි බවත් පෙන්වීමටත් ඇති හොඳ අවස්ථාවක් මෙය.”  

“හෙට්මයර්, ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් යැයි මම සිතනවා. අතීතයේ දී මා ඔහු ගැන කතා කළා. එය මිනිසුන් අසා ඇති බව මම සිතනවා. නැවතත්, මට කණගාටුයි ඔහු නොපැමිණීම පිළිබඳව. ඔහුට අදහස් ප්‍රකාශ කිරීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. නමුත් මම ඔවුන්ට දොස් කියන්නේ නෑ.”  

Sky Sports විකාශනයේ නිත්‍ය සාමාජිකයෙකු වන මයිකල් හෝල්ඩින්, සිය රූපවාහිනී භූමිකාවේ කොටසක් ලෙස එක්සත් රාජධානියට යන බව සනාථ කළේය. මාස හතරක පමණ පරතරයකින් පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේ අපේක්ෂාව ගැන ඔහු සතුට පලකර තිබිනි. 

“එය එක්තරා ආකාරයක ආරම්භයක්. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය ඒ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළා.” හෝල්ඩින් පැවසීය.

නමුත් මයික්‍රොෆෝනය පිටුපස ඇති ඔහුගේ කාර්යය කෙතරම් වෙනස් වේ ද? ජෛව ආරක්ෂණ පරිසරයන් නිසා ප්‍රේක්ෂකයන් නොමැති ක්‍රීඩාංගණ තරග සඳහා වෙන් කර ඇත. 

>> වර්ණවාදයට සංගාගෙන් පිළිතුරක්

“සාමාන්‍ය තත්වයන් යටතේ එය සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් වේවි. කැමරාව විශාල පහරකින් හෝ පිතිකරුවෙකුගේ දැවී යාමෙන් පසුව ඔවුන්ගේ ප්‍රතිචාරය අල්ලා ගැනීම සඳහා ප්‍රේක්ෂකයන් වෙතට යොමු වෙනවා. එවැනි අවස්ථාවන් හිදී අපි සාමාන්‍යයෙන් නිහඬව ඉන්නේ. කෙසේ වෙතත් මේ වතාවේ රසිකයන් නොමැති නිසා මම හිතන්නේ අපට තවත් කතා කිරීමට සිදුවේවි.” ඔහු සිනහ පලකරමින් පැවසීය. 

බටහිර ඉන්දීය කොදෙව්වන් එළඹෙන අඟහරුවාදා (ජූනි 09) එක්සත් රාජධානියට පැමිණීමට නියමිත අතර ඉන්පසුව නිරෝධායනය සහ පුහුණුව සඳහා මැන්චෙස්ටර් වෙත ගමන් කිරීමට නියමිතය. දින 21ක් ඔවුන් පුහුණුවීම් සඳහා ඔවුන් එහි රැඳී සිටියි. ඉන් අනතුරුව ටෙස්ට් තරග දෙක ආරම්භ වේ. දෙවන ටෙස්ට් තරගය සඳහා මැන්චෙස්ටර් වෙත ආපසු යාමට පෙර සවුත්හැම්ප්ටන් හි පළමු ටෙස්ට් තරගය ජූලි මස 08 සිට පැවැත්වීමට සැලසුම් කර ඇත.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<