රූට් නැති නිසා නායකත්වයට වෙනත් අයෙක්

760
Root may miss first Test

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක ජෝ රූට් හට එළඹෙන ජූලි 8 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මඟ හැරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ. ඒ ඔහු දෙවන වරටත් පිය පදවිය අපේක්ෂාවෙන් සිටින නිසයි.

යම් හෙයකින් නිත්‍ය නායක රූට් හට එම තරගය සඳහා සහභාගී වීමට නොහැකි වුවහොත් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන බෙන් ස්ටෝක්ස් හට එම නායකත්වය ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, රූට්ගේ බිරිඳ කැරී ජූලි මස මුල දී ඔවුන්ගේ දෙවන දරුවා බිහි කිරීමට නියමිත අතර තමාට හෝටලයෙන් පිට වී සිය බිරිඳ ළඟට යාමට හැකි ද යන්න සහ එහි සිට නැවත ජෛව ආරක්ෂිතව හෝටලයට පැමිණිය හැකි ද යන්න පිළිබඳව වෛද්‍ය කණ්ඩායම සමඟ සහ ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද රූට් මාධ්‍ය අමතමින් පැවසීය. 

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රූට මෙසේ සිය අදහස් පවසන ලදි.

“එය රජයේ මාර්ගෝපදේශයන්ට යටත් විය යුතු අතර අපි එම කෙටුම්පත් අනුගමනය කරන බවට වග බලා ගන්න ඕන. උපනායකයා වශයෙන් ස්ටෝක්ස් ඔහුගේ වගකීම ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා. ඔහු පුහුණුවීම් කරන ආකාරය, දුෂ්කර අවස්ථාවල දී පන්දු යවන්නන්ව හසුරුවන ආකාරය, දුෂ්කර අවස්ථාවන්හිදී පිතිකරණයෙන් පවා නැගී සිටින ආකාරය ඔහු සතුව තිබෙන මම දැකපු විශිෂ්ට ගුණාංග” යනුවෙන් රූට් පැවසීය.

“ඔහු මිනිසුන් සමඟ ගනුදෙනු කරන්නේ අනෙක් අයවත් ඇදගෙන ඉස්සරහට යන ගමන්, කණ්ඩායමේ ක්‍රීඩකයින් වුනත් ඔහුට ඒ දේ කරන්න හොඳ සහයක් දෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔහුට අපේ නායකත්වය ගන්න පුළුවන්, ඔහු නායකයෙක් ලෙස කණ්ඩායම සහ රට වෙනුවෙන් ලොකු දෙයක් කරයි කියලා මම හිතනවා” යැයි රූට් අවසන් ලෙස පැවසීය. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කර ඇති අන්දමට ජූලි 8, ජූලි 16 හා ජූලි 24 ටෙස්ට් තරග ආරම්භ කිරීමට නියමිත අතර තරග පැවැත්වෙන්නේ Ageas Bowl හා ලැන්කෂයර් ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ක්‍රීඩාංගණවලයි. 

තරග කාලසටහන 

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 8-12 – Ageas Bowl පිටියේ දී 
  • දෙවන ටෙස්ට් තරගය – ජූලි 16-20 – ලැන්කෂයර් හිදී 
  • තෙවැනි ටෙස්ට් තරගය – ජූලි 24-28 – ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<