උෂාන් තිවංකට තවත් ජයක්

187

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති NCAA දෙවන කාණ්ඩයේ ජවන හා පිටිය ශූරතාවයේ උස පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකික උස පැනීමේ ශූර උෂාන් තිවංක අද (29) දිනයේ සමත් වුනා. 

උෂාන් එම තරගයේ දී මීටර් 2.17ක උසක් සාර්ථකව තරණය කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වූ නමුත් ඔහුගේ මෑත කාලීන දස්කම් දෙස බලන විට එය ඉතා අඩු දක්ෂතාවයක් වීම කැපී පෙනුනා. 

එහෙත් තරගාවලිය පැවති Michiganහි අද දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 7ක පමණ ඉතා අඩුයක් ගත් අතර දිනය පුරාවට පැවති අධික සුළං තත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශාල බලපෑමක් එල්ල කළා. 

එම නිසාවෙන් උෂාන් තිවංක හටද සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ නමුත් ඉසව්ව ජයගනිමින් සිය ආධිපත්‍ය රැකගැනීමට ඔහු සමත් වුනා. තරගයේ දෙවන සහ තෙවන ස්ථානයන් පිළිවෙලින් Isaiah Kyle (මීටර් 2.17) සහ Brayden Sorensen (මීටර් 2.17) හට හිමි වුනා. 

තවත් මලල ක්‍රීඩා පුවත් කියවන්න: 

උස පැනීම ඉසව්වෙහි ජාතික වාර්තාවට හිමිකම් කියන උෂාන්, මීට පෙර පැවති තරගාවලියේ දී මීටර් 2.30ක දස්කමක් දක්වමින් උස පැනීමේ ඉසව්වෙහි දකුණු ආසියානු වාර්තාව ද බිඳ හෙළීමට සමත් වුනා. 

එම දස්කම සමඟින් 2021 ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ අභියසට පැමිණීමට ද උෂාන්ට හැකි වූ අතර පරිසාධන සීමාව ඉක්මවා ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමට නම් උෂාන් හට මීටර් 2.33ක පරිසාධන කඩයිම පසුකිරීමට සිදුවේ. 

එසේත් නොමැති නම් ඉදිරියේ දී ඉහළ මට්ටමේ තරගාවලි කිහිපයකට සහභාගි වීමේ වරම් හිමිකර ගෙන එහිදී ඉහළ දස්කම් දැක්වීමට උෂාන් හට හැකි වුවහොත් ප්‍රසාද ලකුණු වර්ගීකරණය මත ඔලිම්පික් සුදුසුකම් හිමිකර ගැනීමට ඔහුට හැකිවනු ඇත. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<