ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා කුසලානයට 12 සංචිතයක්

372
Squad of 12 for Asian Senior Womens Championship

19 වන වරට පැවැත්වීමට නියමිත ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් තෝරාගෙන ඇත.

තරගාවලිය අගෝස්තු මස 9 වන දින සිට 17 වන දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්වීමට නියමිතයි.

2016 වසරේ දී දකුණු ආසියානු තරග (SAG) වල දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 08 දෙනෙක් සහ අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් 02 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත් කර ඇත.

අවුරුදු 23න් පහළ කණ්ඩායමේ නායිකා තිලිණි වසනා පෙරේරා දකුණු ආසියානු තරග ද නියෝජනය කළ අතර මෙම කණ්ඩායමට අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමෙන් තෝරා ගෙන ඇති අනෙක් ක්‍රීඩිකාව වන්නේ අප්සරා සෙව්මාලි යි.

නායිකා දිනේෂා ප්‍රසාදිනී, උප නායිකා ඉරේෂා සුරංගනී, කාංචනා දිල්හානි, වාසනා මදුමාලි, හෂිනි ලක්ෂිකා, චතුරිකා රණසිංහ, සහ දිලුෂා සංජීවනී යන ක්‍රීඩිකාවන් දකුණු ආසියානු තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමෙන් තෝරා ගෙන ඇති අනෙකුත් ක්‍රීඩිකාවන් වේ.

ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා කුසලානයට 18ක්

19 වන වරට පැවැත්වීමට නියමිත ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය..

කෙසේ වුවත් 2016 වසරේ දකුණු ආසියානු තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය දැරූ විරාජි චාමරිකා සහ වයස අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමේ උපනායිකව වන තක්‍ෂිලා මදුරංගි මෙම අවසන් 12 දෙනාගේ සංචිතයට තේරීපත් නොවීම විශේෂත්වයකි. ඔවුන් දෙදෙනාම මීට පෙර තෝරා ගත් 18 දෙනාගේ සංචිතයට ඇතුළත්ව තිබුණි.

2016 වසරේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව සහ 2016 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නට දිනේෂා ප්‍රසාදිනී සමත් විය. ඊට අමතරව 2016 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දී දක්‍ෂතම පන්දු සකසන්නිය ලෙස අෂානි චමෝදිකා සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම පන්දු සකසන්නිය ලෙස චතුරිකා රණසිංහ සම්මාන දිනා ගත් අතර මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දී දක්‍ෂතම පන්දු අවහිර කරන්නිය සහ දක්‍ෂතම ක්‍රීඩිකාව යන සම්මාන දෙකම දිනා ගන්නට ද ඇය සමත් විය.

එමෙන්ම 34 වන වියේ පසුවන උපනායිකා ඉරේෂා සුරංගනී සතු අත්දැකීම් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

සංචිතය

  1. දිනේෂා ප්‍රසාදිනී (නායිකාව)
  2. ඉරේෂා සුරංගනී පෙරේරා (උපනායිකාව)
  3. හෂිනි ලක්ෂිකා
  4. අප්සරා සෙව්මාලි සෙනෙවිරත්න
  5. අයේෂා මදුරිකා
  6. වාසනා මදුමාලි ධර්මතිස්ස
  7. තිලිණි වසනා පෙරේරා
  8. චතුරිකා ගයනි රණසිංහ
  9. කාංචනා දිල්හානි විජේකෝන්
  10. සංජීවනී කරුණාරත්න
  11. අෂානි චමෝදිකා ජයතුංග
  12. දිලුෂා සංජීවනී

නිලධාරීන්

  1. කළමනාකරු – ජී. ඩී. ටී. එස්. පෙරේරා මහතා
  2. ප්‍රධාන පුහුණුකරු – සුමිත් ජයලාල් මහතා
  3. සහාය පුහුණුකරු – නිශාන් ඉන්දික මහතා
  4. අභ්‍යාසක – සුසිරි මංගල කුමාර මහතා
  5. කාන්තා භාර නිලධාරිනී – ක්‍රිෂාන්ති ජයවර්ධන මහතා
  6. කණ්ඩායම් විනිසුරු – එම්. ඒ. පී. සෙනෙවිරත්න මහතා

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට