රහස් පොලිසියේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු

1175

ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ආර්. විමලසිරි හෙවත් රාජා රවින්ද්‍ර විමලසිරි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් විමර්ශන නිලධාරියෙකි. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් ද ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන ඔහු ගැන ThePapare.com තබන සටහනකි මේ. 

අර්බුද රැසක් මැද 83 දී සිංහයින් දිනූ ප්‍රථම එක්දින වික්‍රමය

රවින්ද්‍ර විමලසිරිගේ ක්‍රිකට් දිවිය ඇරඹෙන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට ය. එතැන් සිට වයස අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19 පහළ යන පාසල් කණ්ඩායම් නියෝජනය කරන විමලසිරි ඒ සෑම කණ්ඩායමකම නායකත්වය ද දැරුවේය.

විමලසිරිගේ පාසල් ක්‍රිකට් දිවියේ ස්වර්ණමය මතකය වෙන්නේ කොකාකෝලා කුසලානය වෙනුවෙන් පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ 1986 වසරේ ශූරතාව දිනා ගැනීමයි. එම තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගන්නා විමලසිරි අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මාන ලබා ගන්නේය. 

පාසල් යන අවදියේම Old Palians ක්‍රීඩා සමාජය නියෝජනය කළ විමලසිරි පාසල් දිවියෙන් අනතුරුව තේ බෙදාහැරීමේ සමාගමක සේවයට එක් වෙන්නේය. ඒ එම සමාගම සතුව තිබූ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ අරමුණෙනි. නමුත් එහි වැඩි කාලයක් ගත නොකරන ඔහු පොලිස් සේවයට එක් වෙන්නේය. ඒ ගාමිණි සිල්වා මහතාගේ ආරාධනාවක් අනුවය. 

“ඒ දවස්වල ජීවිතය වෙලා තිබුණෙ ක්‍රිකට් තමයි. පොලිසියට එක් වුනෙත් ක්‍රිකට් ගහන්නම තමයි. ධර්මපාලෙ ගොඩක් දෙනෙක් ක්‍රීඩා කළේ පොලිස් ක්‍රීඩා සමාජයට. මමත් දෙපාරක් නොහිතාම රස්සාවෙන් අස්වෙලා පොලිසියට ආවා. ඒ ආපු ගමන වැරදුණේ නැහැ.”

විමලසිරි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් කටයුතු කරන්නේය. මෙරට ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකම විමර්ශන කටයුතු සිදු කෙරෙන්නේ ද ඔහු අතිනි.

“පොලිස් සේවයත් ක්‍රිකට් ක්‍රීඩාවත් දෙක පටලවා නොගෙන කටයුතු කරන්න මට හැකි වෙන්නේ මා වටා සිටි පිරිස නිසා. අනිත් එක පොලිසියෙන් ලැබූ ශික්ෂණය ගොඩක් වැදගත් වුනා.”

ඔහු තෝරාගත් විෂය අනුව, විමලසිරි ඉතා කාර්ය බහුල පොලිස් නිලධාරියෙකි. එහෙත් ඒ කාර්ය බහුලත්වය මැද ක්‍රිකට් ක්‍රීඩාවට ද කාලය යොමු කිරීමට විමලසිරි වග බලා ගත්තේය. 

දකුණත් පිතිකරුවෙක් සහ දකුණතින් පා දඟපන්දු යැවූ විමලසිරි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. පළමු පෙළ තරග 86කට සහභාගී වී ඇති විමලසිරි ඉනිම් 145ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 21ක් සමඟින් ලකුණු 3331ක් ලබා ඇත. පන්දු යවන්නෙක් ලෙසින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 37කි. 

1989 වසරේ දී ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට එක් වෙන රවින්ද්‍ර විමලසිරි 1991 වසරේ දී වයස අවුරුදු 23න් පහළ පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද 1994 වසරේ සිට වසර කිහිපයක් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ නායකත්වය ද උසුලන්නේය. ඒ අතුරින් නායකත්වයට පත් 1994 වසරේ දී පොලිස් ක්‍රිකට් කණ්ඩායම එතෙක් ක්‍රීඩා කළ දෙවැනි පෙළ කාණ්ඩයෙන් පළමු පෙළ කාණ්ඩයට ගෙන ඒමට ද විමලසිරි සමත් වන්නේය.

චන්දිමාල්ගේ ශතකය වෙනුවෙන් Lord’s ක්‍රීඩාංගණය බලා සිටි දා

“ප්‍රිමියර් එකේ අවුරුදු 3-4ක් සෙල්ලම් කරද්දී අම්පයරින් කරන්න ආසාවක් ඇති වුනා. තරගයක් පාලනය කරන ආකාරය, එහි දී නීතිය ගැන දැනුවත් වීම, ඒ අනුව කටයුතු කිරීම වැනි දේවල් ගැන සොයන්න උනන්දුවක් ඇති වුනා. ක්‍රිකට් ගහන ගමන්ම පොත් පත් පරිශීලනය කරමින් ඒ දේවල් ඉගෙන ගත්තා. තරගයක දී හමුවෙන විනිසුරුවන්ගෙන් නොදන්නා දේ අහල ඉගෙන ගත්තා. අන්තිමට 2000 වසරේ දී මම ක්‍රිකට් විනිසුරු විභාගයෙන් සමත් වුනා.”  

එම වසරේ දී ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් සුදුසුකම් ලබා ගත්ත ද ඔහු 2006 වසර දක්වාම පළමු පෙළ ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන්නේය. ඒ අතර ලැබෙන විවේකයේ දී විනිසුරුවරයෙක් ලෙසින් ද කටයුතු කිරීමට ඔහු උනන්දු විය. අනතුරුව ඔහු පොලිස් සේවයට අමතරව 2007 වසරේ සිට පූර්ණ කාලීනව ක්‍රිකට් විනිසුරුවෙක් ලෙසින් කටයුතු කිරීමට යොමු වෙන්නේය. 

“කාලයත් එක්ක මට මේක ගොඩක් හිතට ඇල්ලුවා. ටිකෙන් ටික ඉදිරියට එන්න ලැබුණා. මට මේක හරියටම අල්ල ගන්න පුළුවන් කියන හැඟීම ආවා. ජාත්‍යන්තර මට්ටමට එන්න ඕන කියන අදහසත් එක්කයි මම වැඩ කළේ. මම මහන්සි වුනා. කැප වුනා. අත්දැකීම් එක්ක ඉදිරියට එන්න මට හැකි වුනා.” 

ඒ අනුව පැමිණි රවින්ද්‍ර විමලසිරි 2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වෙන්නේය. ඒ මෙරට ජාත්‍යන්තර විනිසුරු කබාය පැලඳි 24 වැනියා ලෙසිනි. තරගය වූයේ මෙරට සංචාරයක යෙදුණ දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ දිවා රාත්‍රි එක්දින තරගයි.

“මම සූදානම් වෙලා හිටියේ ජූලි මාසේ 31 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට. ඊට කලින් තරගයේ දී මම 4th Umpire විදිහට කටයුතු කළා. තරගය කරන්න හිටියේ රුචිර පල්ලියගුරු සහ ඕස්ට්‍රේලියානු ජාතික රොඩ් ටකර්. ඔවුන් දෙදෙනා විනිසුරු කාමරේ සිටිද්දි මම ග්‍රවුන්ඩ් එක බලන්න ගියා. වැස්ස නිසා තරගයේ පන්දුවාර කිහිපයක් අඩු කරල තිබුණේ. ඒ අතර වාරයේ මට තරග තීරක සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ප්‍රයිකොෆ්ට් පණිවුඩයක් එව්වා විනිසුරු කාමරයට එන්න කියලා.”

ඒ කැඳවීම, ඊට සතියකට පමණ පසු එක්දින ජාත්‍යන්තර විනිසුරු වරම් හිමිකර දීමට සිටි රවින්ද්‍ර විමලසිරිට හදිසියේම විනිසුරු වරම් හිමිකර දීමට වූ කැඳවීමක් විය. ඒ පිටියේ විනිසුරු ලෙසින් කටයුතු කිරීමට සිටි රොඩ් ටකර් හදිසියේම අසනීප වීම නිසා ය.  

“ඒ තරගය එච්චරම හිතට දැනුණ තරගයක් වුනේ නැහැ. මම සාමාන්‍ය තරගයක් ලෙසින් ඒක කළා. සමහර විට ඒ තරගය කිසිදු සූදානමකින් තොරව මට ලැබුණ නිසා වෙන්න ඇති. නමුත් මම කරන්න සිටි ඊළඟ තරගය දවසේ දී මට කිසියම් පීඩනයක් වගේ දෙයක් දැනුණා. ඒ මම ඒකට පෙර සිටම සූදානමින් සිටි නිසා වෙන්න ඇති.” 

එසේ විනිසුරු කබාය පැලඳි විමලසිරි මේ වන විට, එක්දින ජාත්‍යන්තර තරගය 14ක දී පිටියේ විනිසුරු ලෙසත්, තවත් එක්දින තරග 5ක දී රූපවාහිනී විනිසුරු ලෙසත්, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 28ක දී පිටියේ විනිසුරු ලෙසින් ද, තවත් විස්සයි විස්ස තරග 10ක දී රූපවාහිනී විනිසුරු ලෙසින් ද මේ වන විට කටයුතු කර ඇත. 

“ක්‍රිකට් විනිසුරු දිවියේ ගොඩක් අසීරු අවස්ථා පසුකරලා තියෙනවා. ඒක ඕනම ක්‍රිකට් විනිසුරුවරයෙක්ට පොදු දෙයක්. හැම ක්‍රිකට් විනිසුරුවරයෙක්ම උත්සාහ කරන්නේ තරගයක් හොඳින් කරන්න. හොඳින් පාලනය කරන්න. නමුත් තරගයක් නිසා යම් යම් අවස්ථාවල දී ක්‍රීඩකයන් ඔවුන්ගේ කණ්ඩායම්වලට වාසිදායක විදිහට අපිට පීඩනය එල්ල කරනවා. ඒක ක්‍රීඩාවේ ගතිය. 

නමුත් එදාට වඩා දැන් තරග නීති රීති වැඩියි. ඒ නිසා බොහෝ දෙනෙක් ඒ නීති රීති අනුව කටයුතු කරනවා. ක්‍රිකට් විනිසුරුවන් සමග වෙනදාට වඩා සුහදව කටයුතු කරනවා. මම විශ්වාස කරනවා ක්‍රීඩාවේ තිබෙන ජීව ගුණය රඳවා ගැනීමට මේ නීති රීති අවශ්‍යයි කියලා. එය ක්‍රීඩකයන්ට වගේ ම අපිටත් පොදුයි.”

2019 වසරේ ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ද එම වසරේම දකුණු අප්‍රිකාවේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කිරීමට ද විමලසිරි සමත් විය. ඊට අමතරව ආසියානු තරගමාලා කිහිපයක දී ම විනිසුරු කබාය පැලඳීමට ඔහු සමත් වෙන්නේය. 

“ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් අපි නිතරම ක්‍රිකට් නීති පරිශීලනය කරන්න ඕන. දැනුවත්ව සිටින්න ඕන. කුමාර් ධර්මසේන සහ පීටර් මැනුවෙල් මහත්වරුන් මේ සඳහා ඉන්න මගේ ළඟම හිතවතුන්.” 

ක්‍රිකට් විනිසුරු දිවියට පිවිසි රවින්ද්‍ර විමලසිරි ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ දේශීය ක්‍රිකට් විනිසුරු ලෙසින් 2013වසරේ දී ප්‍රථම වරට සම්මාන ලැබූ අතර ඊට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමය 2016 වසරේ දී සංවිධානය කළ සම්මාන උළෙලේ සාමාජිකයන්ගේ තෝරා ගැනීම අනුව වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු ලෙසින් සම්මානයෙන් පුද ලැබීමට ද සමත් විය. 

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් ගත කරන කාර්ය බහුල ජීවිතය තුළ අන්තර් ජාතික ක්‍රිකට් විනිසුරු දිවිය ද සම සේ ගෙන යන 51 හැවිරිදි රවින්ද්‍ර විමලසිරි දෙදරු පියෙකි. 17 හැවිරිදි පුතා, ඉනුර දිනාල් කොළඹ රාජකීය විද්‍යාලයේ ද, 14 වියැති දුව දසුනි දිනාලි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ද ඉගනුම ලබන අතර බිරිඳ, අයේෂා විජේසේකර ආයුර්වේද වෛද්‍යවරියක් ලෙසින් කටයුතු කරන්නීය. 

“ඔවුන් මගේ කටයුතු වෙනුවෙන් විශාල සහයෝගයක් දක්වනවා. ගත කරන කාර්ය බහුලත්වය මග හැරෙන්නේ ඔවුන්ගේ සහයෝගය නිසා.” 

අනාගතයේ දී ක්‍රිකට් විනිසුරු දිවියේ ඉහළටම යෑම තම බලාපොරොත්තුවෙන් සිටින රවින්ද්‍ර විමලසිරි ඒ මගින් රටටත් තම දෙපාර්තමේන්තුවටත් කීර්තියක් ලබා දීමට අපේක්ෂාවෙන් සිටී. ඔහුගේ එම පැතුම ඉටු වේවාය ThePapare.com අපගේ සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<