Bouncer පන්දු තහනම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ – MCC

4332
(ACI)

ක්‍රිකට් පිටියේ කෙටි පන්දු හෙවත් Bouncer පන්දුවලට අදාළ නීතිරීති වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි එංගලන්තයේ Marylebone ක්‍රිකට් ක්‍රීඩා සමාජය (MCC) පවසා සිටිනවා.

වත්මන් නීතිරීති වලට අනුව පන්දුවාරයකට පිතිකරුවාගේ හිස මට්ටමට කෙටි පන්දු දෙකක් යැවීමේ හැකියාව පවතිනවා.

මේ පිළිබඳව දීර්ඝ කාලයක් සොයා බැලීමෙන් අනතුරුව ගත් තීරණය තමයි ඊට අදාළ නීති වෙනස් නොකරන බව”, ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදනය කරන MCC ක්‍රීඩා සමාජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

2021 පෙබරවාරි මාසයේ දී MCC ක්‍රීඩා සමාජය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළා. මේ තීරණය ගෙන තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ පාර්ශවයන් සියල්ලගෙන්ම අදහස් විමසා, ක්‍රීඩා සමාජයේ විවිධ කමිටු, සහය කමිටු එම කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බව MCC ක්‍රීඩා සමාජයේ නිලධාරියෙක් Cricbuzz වෙත පවසා තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදකයින් වන MCC ක්‍රීඩා සමාජය පවසා සිටින්නේ, Bouncer පන්දු ගැන තීරණය ගැනීමට පෙර ඒ පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ සිතා බැලූ බවයි. “පිත්ත හා පන්දුවේ සමතුලිතතාවය ගැන සිතා බලන්න ඕනේ. concussion තත්ත්වය අනෙක් ආබාධවලට ම සමාන ද, නැද්ද කියා අපි සිතා බැලුවා. ඉන්පසු විවිධ ක්‍රිකට් ක්‍රීඩා මට්ටම් වලට (පාසල් මට්ටම) Bouncer පන්දු තහනම් කිරීම ගැන අප සොයා බැලුවා.”

පන්දුවට පහර දීමට එතරම් දක්ෂතාවයක් නැති පිතිකරුවන් ආරක්ෂා කිරීමට වත්මන් නීතිරීති ප්‍රමාණවත් බව MCCය තීරණය කර තිබෙනවා. එම නීතිරීති ක්‍රියාත්මක කිරීමේ වගකීම හිමිව තිබෙන්නේ තරග විනිසුරුවන්ටයි. පිතිකරුවන් ආබාධයකට ලක් විය හැකි යැයි සැක නම් විනිසුරුවන්ට එම නීති බලාත්මක කිරීමේ වගකීම පවතිනවා.

කෙටි පන්දු යැවීම පිළිබඳව වත්මන් නීති රීති මෙසේයි.

  • 6 – භයානක හා අසාධාරණ කෙටි පන්දු යැවීම.
  • 6.1: පිතිකරුවාගේ දක්ෂතාවය, වේගය, පන්දුව පතිත වන ස්ථානය, පිතිකරුවාගේ උස හා පන්දු යවන්නාගේ ඉලක්කය අනුව පිතිකරුවාට ආබාධයක් සිදු වේ යැයි විනිසුරුවාට සැකයක් පවතී නම් කෙටි පන්දු යැවීම භයානක බව විනිසුරුට තීරණය කළ හැකියි. පිතිකරුවා ආරක්‍ෂිත උපාංග පැලඳ සිටින බව මෙහි දී නොසැලකේ.
  • 6.2: පන්දු යවන්නා යැවූ කෙටි පන්දු කිහිප වතාවක්ම පිත්කරුවාගේ හිසට ඉහළින් යන්නේ නම් 41.6.1 වගන්තිය යටතේ කෙටි පන්දු යැවීම භයානක නොවුනත් එම පන්දු යැවීම අසාධාරණ බව තීරණය කෙරේ.
  • 6.3: 41.6.1 යටතේ කෙටි පන්දු යැවීම භයානක හෝ 41.6.2 යටතේ කෙටි පන්දු යැවීම අසාධාරණ යැයි විනිසුරු තීරණය කළ වහාම එම පන්දුව නිපන්දුවක් යැයි සංඥා කළ හැකියි. පන්දුව යවා අවසන් වූ පසුව විනිසුරුට පන්දු යවන්නාට අවවාද කළ හැකියි. මෙය පළමු හා අවසන් අනතුරු ඇඟවීම බවට අනෙක් විනිසුරුට, පන්දු රකින පිලේ නායකයාට හා පිතිකරුවන්ට දැනුම් දිය හැකියි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<