මැරුවා ද? එහෙම නැත්තම් මැරුණා ද? – 2

ICC Cricket World Cup 2007

543

පාකිස්තානයේ මුල්තාන් නගරයේ පිරී සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දහස් ගණනක් එක ම හඬින් Woolmerගේ මරණය අපේක්ෂාවෙන් කෑ ගසමින් සිටි අතර, ඔවුන් සියල්ලන්ට ම අවශ්‍ය වී තිබුණේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2007 එක්දින ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවතට විසි වීමේ පලිය Bob Woolmer මතින් යැවීමටයි.

2007 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ ප්‍රියතමයෙකු ලෙස තරගාවලියට පිවිසි පාකිස්තාන කණ්ඩායම තරගාවලියේ පළමු තරගය ම සත්කාරක දේශය (බටහිර ඉන්දීය කොදෙව්වන්) හමුවේ පරාජය වුනා. නමුත් ඔවුන් තරගාවලියේ ලද විශාලතම අපකීර්තියට මුහුණ දුන්නේ 2007 මාර්තු මස 17 වැනිදා අයර්ලන්තය හමුවේ ලකුණු 132කට දැවී යමින්, අයර්ලන්තයට කඩුලු 3ක ජයග්‍රහණයක් ද උරුම කර දෙමිනුයි.

2007 ලෝක කුසලානයේ සිදු වූ “අප්සට්ම” සිදුවීම් දෙකෙන් එකක් ලෙස මෙම පරාජය සමඟින් පාකිස්තානයට ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවත් වීමට සිදු වුනා. (අනෙක් සිදුවීම ඉන්දියාව බංග්ලාදේශය හමුවේ පරාජය වෙමින් මූලික වටයෙන් ම ගෙදර යාමයි.)

පාකිස්තානය අනපේක්ෂිත ලෙස තරගාවලියෙන් ඉවත් වීම සහ මුල්තාන් වල රැස් වූ ජනයා එකාවන් ව සිය කණ්ඩායමේ පුහුණුකරුගේ මරණය ප්‍රාර්ථනා කිරීම ඉතිහාසයේ සිදු වූ අභාග්‍යයන් ලෙස හඳුන්වා හඳුන්වා දෙන්න පුළුවන්.

නමුත් මේ ප්‍රාර්ථනා සපථ කරමින් Bob Woolmer හදිසියේ ම මිය යෑම හඳුන්වා දිය යුත්තේ කෙසේ ද?

එදා පාකිස්තානය අයර්ලන්තය හමුවේ ලද පරාජයෙන් අනතුරුව Woolmerගෙන් මාධ්‍යවේදියෙක් විසින් අහනවා පුහුණුකාර වගකීම් වලින් ඉවත් වෙන්න අදහසක් තියෙනවා ද කියලා.

එතන දී Woolmer ඊට පිළිතුර විදිහට කියන්නේ “මම අනාගතයේ දීත් පුහුණුකරුවකු ලෙස නිදා ගැනීමට කැමතියි,” කියලා.

ඔහුගේ ඒ ප්‍රකාශය සත්‍යයක් වෙන්න වැඩි කාලයක් ගත වුනේ නැහැ, එදා (17 වැනිදා) රාත්‍රියේ ම ඔහු පුහුණුකරුවෙක් විදිහට ම සිය අවසන් නින්දට යොමු වෙනවා. නමුත් Woolmer ඒ විදිහට නිදා ගන්නේ මුළු ලෝකයක් ම විසඳුමක් නැති ප්‍රශ්න ගොන්නක ගිල්වමිනුයි. මීට පෙර ලිපියකින් හිටපු දකුණු අප්‍රිකානු ධාවන ශූරයෙකු වන Oscar Pistoriusගේ පෙම්වතිය වුන Reeva Steenkamp ඝාතන සිදුවීම ගැන පළ කළ ලිපියෙන් පසු තවත් එවැනි ම අභිරහස් මරණයක් පිළිබඳ මේ ලිපියෙන් සොයා බලමු.

Woolmerගේ අභිරහස් මරණය

ජැමෙයිකාවේ පිහිටි Pegasus නම් හෝටලයේ 12 වැනි මහලේ පිහිටි 374 අංකය දැරූ කාමරය තමයි Woolmerගේ කාමරය වුනේ. මාර්තු 18 උදෑසන මේ කාමරයේ නාන කාමරයේ නිරුවතින් වැතිර තිබුණු Woolmerගේ දේහයේ දෙපා දෙපසට විහිද තිබුණු බවත්, මුඛයේ ලේ සහ අසල බිත්තියක වමනය තිබුණු බවත් වාර්තා වල සටහන් වෙනවා.

Woolmer කියන්නේ ඒ තරම් ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවා දමපු පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ මරණය පිළිබඳ විස්තර පිට වෙද්දී බොහෝ දෙනෙක් මුලින් ම අනුමාන කරන්නේ Woolmer විසින් සියදිවි නසා ගන්න ඇති බව. නමුත් පසුව හෙළි වෙන්නේ මෙය ස්වාභාවික මරණයක් කියලයි. ඒ වෙනුවෙන් හේතු විදිහට සඳහන් වෙන්නේ ඔහුගේ හදවත සාමාන්‍ය තරමට වඩා බරින් වැඩි බව, ඔහු දියවැඩියාවෙන් පෙලෙන්නෙකු බව සහ ඔහු නින්දේ දී හුස්ම හිර වීමේ රෝගයකින් පීඩා විඳි බව. Woolmerගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වාර්තා වුන මේ තොරතුරු සමඟින් සියදිවි නසා ගැනීම කියන මාතෘකාව තරමක් පසු පසට තල්ලු වෙනවා. නමුත්, ඔහු සියදිවි නසා නොගත්තත් යම් ආතතියක්/අවපීඩනයක් ඔහුව වෙලා ගෙන තිබුණු බවට සැකයක් ඉතිරි වෙනවා.

මොකද 2004 වර්ෂයේ සිට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු විදිහට වැඩ බාර ගත්ත Woolmerගේ හිතට සහනයක් දැනුණු දින ගණන අල්පමාත්‍ර බව අපට අනුමාන කරන්න පුළුවන් නිසා.

2006 වසරේ දී එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වුණු සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිදු වනු පන්දුව පළුදු කිරීම සම්බන්ධ සිදුවීම, 2006 දී ම Shoaib Akhtar සහ Mohammad Asif හට එල්ල වූ තහනම් උත්තේජක සම්බන්ධ චෝදනාව සහ තරග තහනම වැනි සිදුවීම නිසා Woolmer හට අතීතයේ පටන් ම පාකිස්තානය නිසා ම මානසික නිදහස අහිමි වෙලා තිබුණු බව විශ්වාස කරන්න පුළුවන්.

ඒ වගේ ම Woolmerගේ මරණයට පෙර දිනයේ පාකිස්තානය අයර්ලන්තය හමුවේ ලද පරාජයත් ඔහුට යම් ආතතියක් එක් කරන්නට ඇති බව විශ්වාස කළ හැකියි.

“ගොඩක් වෙලා අඬපු කෙනෙකුගේ වගේ ඔහුගේ ඇස් රතු පාට වෙලයි තිබුණේ,”

Woolmerගේ අවසන් කෑම වේල ඔහු වෙත රැගෙන ගිය වේටර්වරිය (Deirdre Harvey) විසින් මරණය සිදුවීමෙන් පසුව Woolmer පිළිබඳ මතකය අවදි කරන්නේ ඒ විදිහට.

ඒ විතරකුත් නෙවෙයි Woolmerගේ ආතතිය සම්බන්ධ සැකය තහවුරු කරන ආකාරයේ ඊ-මේල් පණිවුඩයකුත් පසු පරීක්ෂණවල දී ඔහුගේ පරිගණකයෙන් සොයා ගන්නවා. ඔහු මේ පණිවිඩය මාර්තු 17 රාත්‍රි 8.12ට සිය බිරිඳ වන Gill Woolmer හට යොමු කරපු එකක්.

“ඔබ සිතන විදිහට ම තරමක මානසික අවපීඩනයක් දැනෙනවා. Edgbaston හිදි අවසන් පූර්ව වටයෙන් ඉවත් වීම ද (1999 දී ඕස්ට්‍රේලියාව සමඟ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ අවාසනාවන්ත අවසන් පූර්ව තරගය, එවකට Woolmer දකුණු අප්‍රිකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.) නැතිනම් මේ පළමු වටයෙන් ඉවත් වීම ද වැඩියෙන් ම නරක කියලා මට හිතා ගන්න බැහැ.

අපේ පිතිකරණ දක්ෂතා ගොඩක් දුර්වලයි, මම මගේ විශාලතම බිය මොකක් ද කියලා වටහා ගත්තා.”

Woolmer විසින් තමන්ගේ බිරිඳව අමතන්නේ ඒ විදිහට. ඒ පණිවිඩයේ විදිහට නම් ඔහු තරමක ආතතියකට පත් වෙලා තියෙනවා.

ඒ වගේ ම එදා තරගය පරාජයෙන් පසුව BBC ගුවන් විදුලිය වෙත ලබා දුන්න සම්මුඛ සාකච්ඡාවක දී ඔහුගෙන් අහනවා පාකිස්තාන පුහුණුකරු ධුරයෙන් සමුගන්න සූදානමක් තියෙනවා ද කියලා. ඔහුගෙන් මේ ප්‍රශ්නය අහන්නේ Alison Mitchell කියන නිවේදිකාව. මේ ගැටලුවට Woolmerගෙන් වාචික පිළිතුරක් නොලැබුණු නමුත් මද

සිනහවක් සහිත ව ඔහු ඒ ප්‍රකාශයට එකඟ වුනු බවයි Alison විසින් පවසන්නේ. නමුත් ඇය වැඩිදුරටත් කියන්නේ එදා තමන් සමඟ කතාබහට එක් වුනු Woolmerගේ කිසිම වෙනසක් තමන් නොදැක්ක බව සහ ඔහු සාන්තුවරයෙක් තරම් ඉවසීමකින් සිටි බව.

මෙන්න මේ වගේ එකකට එකක් සම්බන්ධයක් නැති තනි තනි සිදුවීම් නිසා Woolmer මිය ගියේ රෝගී තත්වයක් නිසා බව තහවුරු කරන්න සහ කර ගන්න බොහෝ දෙනෙක් උත්සාහ කළත් ඒ හැම මොහොතක ම කුමක් හෝ බාධාවක් ඇති වෙනවා.

Woolmerගේ මරණය සිදු වෙන්නේ ඉරිදා (ඉරිදා උදෑසන හෝ සෙනසුරාදා රාත්‍රියේ) දවසක, ඊට දවස් දෙකකට පසුව අඟහරුවාදා (20) වෙද්දී මේ මරණය සැක සහිත එකක් බවටත්, ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවිනිශ්චිත එකක් බවටත් මතයක් ගොඩනැගෙනවා. ඒ සතියේ ම බ්‍රහස්පතින්දා (22) වෙද්දී ජැමෙයිකානු පොලිසිය විසින් Woolmerගේ මිය යාම සම්බන්ධයෙන් මිනීමැරුම් පරීක්ෂණයක් ආරම්භ කරන්නේ මරණය පරීක්ෂා කළ ව්‍යාධි විද්‍යාඥයා විසින් ලබා දුන් වාර්තාවට අනුව Woolmerගේ ගෙල අතකින් සිර කිරීමෙන් හුස්ම සිර වීම නිසා මෙම මරණය සිදු වූ බවට සඳහන් වූ බව පවසමිනුයි.

මේ වෙද්දී මේ මරණය නිසා ක්‍රිකට් ලෝකය තරමක් කැලඹිලා තියෙන්නේ. මේ වගේ සිදුවීමකින් පසුවත් තරගාවලිය පැවැත්වීම පවා පිරිසක් විසින් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.

ඒ කොහොම වෙතත් Woolmerගේ මරණයෙන් පසුව පාකිස්තාන කණ්ඩායමට නියමිත වෙලා තිබුණු තරගය (මාර්තු 21) පවා වෙනසකින් තොරව පැවැත්වුණා. (සිම්බාබ්වේ සමඟ පැවැත්වුණු මේ තරගය ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් වූ අතර ම මෙම තරගයෙන් පසු එවකට පාකිස්තාන නායක Inzamam Ul Haq සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයටත් සමුදුන්නා.)

Mark Shields කියන්නේ මේ වෙලාවේ Woolmerගේ මරණය ගැන විමර්ශනය කරන්න පත් කෙරෙන පොලිස් නිලධාරියා. ඔහුට හොඳ අපරාධ පරීක්ෂණ ඉතිහාසයක් තියෙන නිසාම බොහෝ දෙනෙක් ඔහු ගැන විශ්වාසය පළ කරනවා.

නමුත් Woolmerගේ මරණය ඔහුටත් යම් මතභේද ඇති කරපු එකක් වුනා. තනි අයකුට

මෙල්ල කරන්න තරමක් අපහසු Woolmerගේ මරණයට පිරිසක් සම්බන්ධ විය යුතුයි කියලා ඔහුට අදහසක් ඇති වෙනවා. නමුත් අනෙක් අතට Woolmerගේ මරණය සිදු වුනු නාන කාමරයේ ඒ විදිහේ පිරිසක් එක් වුනු හෝ Woolmerව බලහත්කාරයෙන් මරා දමන්න උත්සාහ කළා කියන අන්දමේ සලකුණු කිසිවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ.

මේ මරණය පිළිබඳ හරි මතකයක් ගොඩ නගන්න බැරි ව සිටින මොහොතක තමයි තවත් අදහසක් එළියට එන්නේ. ඒ තමයි Woolmerගේ ආහාර පාන වලට මත් ද්‍රව්‍යයක් වැනි යමක් එක් කරන්න ඇති බව. ඒ මඟින් Woolmerව දුබල කරන්නට ඇති බව.

ඒ අදහස තවදුරටත් සනාථ කරවපු ජැමෙයිකානු මාධ්‍ය විසින් අප්‍රේල් මස මුල දී හෙළිදරව් කරන්නේ විෂ විද්‍යා වාර්තාවෙන් හෙළිදරව් වෙන විදිහට Woolmerගේ රුධිරයෙන්, ආමාශයෙන් සහ මුත්‍ර වලින් ලබා ගත් සාම්පල වලින් විදෙස් මූලද්‍රව්‍යයක් හමු වුනා කියලා. ඒ මූලද්‍රව්‍ය යම් විෂක් බවත් ඔවුන් විශ්වාස කරනවා. BBC රූපවාහිනිය විසින් හෙළි කරන්නේ Aconite නම් විෂ Woolmerගේ සිරුරෙන් හමු වුනා කියලා.

නමුත් කාලය ගත වෙද්දී මේ ගැන විමර්ශනය කරන්න යොදවපු විශිෂ්ට පොලිස් නිලධාරියා Mark Shields අසාමාන්‍ය නිහඬතාවකට යොමු වෙනවා. මැයි මාසයේ 20 වැනිදා ජැමෙයිකානු පොලිසිය විසින් විශේෂ නිවේදනයක් සිදු කරමින් තම ව්‍යාධිවේදියාට යම් වැරදීමක් සිදු වී ඇති බව පවසනවා.

ඒ එක්ක ම Woolmer සැලසුම් සහගතව (ගෙල සිර කිරීම හෝ වෙනත් මාර්ගයකින්) මරා දැමුණා කියන තර්කය නැවතත් බිඳ වැටෙනවා. ඒ වගේ ම ශරීර ගත වෙලා තිබුණු විෂ පිළිබඳ තර්කයටත් බලපෑමක් එල්ල වෙනවා.

ව්‍යාධිවේදියා විසින් ලබා දෙන තොරතුරු අනුව යමින් තමන්ට මේ විමර්ශනය සිදු කරන්නට වූ බවත් ඒ අනුව මේ මරණය ස්වාභාවික ව සිදුවුනු එකක් බවත් Shield විසින් අන්තිමේ දී පවසනවා. අවසානයේ 2007 ජුනි මස 12 වැනිදා තවත් ස්වාධීන ව්‍යාධිවේදීන් තිදෙනෙකුගේ පරීක්ෂණ වල නිගමන සමඟින් මේ මරණය ස්වාභාවික එකක් බවට ජැමෙයිකානු පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරනවා.

නමුත් ඉන්දීය සම්භවයක් සහිත ව්‍යාධිවේදියෙක් වන Ere Seshaiah කියන පුද්ගලයා මේ තීරණයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා.

“මම මගේ සොයා ගැනීම් තරයේ විශ්වාස කරනවා. ඔහු ඝාතනය කළා. මෙය මගේ පළමු සිදුවීම නෙවෙයි. මම 1995 සිට ජැමෙයිකාවේ මරණ පරීක්ෂණ සිදු කරනවා.”

නමුත් ඔහුගේ සහයට විෂයයේ ප්‍රවීණයින් මහා ගොඩක් එකතු වෙන්නේ නම් නැහැ.

Woolmerගේ මරණය සම්බන්ධ කතාවේ වඩාත් වැදගත් ම කොටසට ළඟා වෙන්නේ දැන්.

Woolmerව ඝාතනය කරන්න අවශ්‍ය වුනා නම් ඒ කවුද?

Woolmerව ඝාතනය කරන්න අවශ්‍ය වෙන්න හේතුව මොකක් ද?

ඒ ගැන කතා කරන්න අපට යන්න වෙනවා 90 දශකය දක්වා ඈතට!

Woolmer විසින් මුලින් ම ප්‍රධාන පුහුණුකරු විදිහට එකතු වෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ. ඒ 1994 වසරේ දී. ඔහු 1999 වෙනකම් දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු විදිහට වගකීම් දරනවා. මේ කාලය තුල දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකයේ බලවත් ම ක්‍රිකට් රාජ්‍යයක්. ඔවුන්ගේ අවාසනාව නිසා ලෝක කුසලාන මඟ හැරුණා වුනත් ඔවුන් සතු ව සිටි ක්‍රීඩකයින් සහ ඔවුන්ට තිබුණු ආධිපත්‍යය ගැන සැකයක් තියා ගන්න අවශ්‍ය නැහැ.

ඒත් මේ කාලයේ දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් වලට කළු පැල්ලමක් එකතු වෙන්නේ ඔවුන්ගේ හිටපු නායකයෙක් සහ පසු කාලයේ දී අවාසනාවන්ත ලෙස මිය ගිය Hansie Cronjeගේ නම ඈඳුණු තරග පාව දීම් චෝදනා දකුණු අප්‍රිකාවට එල්ල වීමත් සමඟ. Cronje ගැන වගේ ම Cronje සහ Woolmer අතර සිදු වුනු රසබර අතීත සිදුවීම් ගැනත් විස්තර කරන්න මෙය අවස්ථාවක් නොවෙන නිසා මෙම තරග පාවදීම් චෝදනා Cronjeට එල්ල වුනු කාලයේ Woolmer ඔහුගේ පුහුණුකරු විදිහට කටයුතු කළ කාරණයට පමණක් අපි දැනට අවධානය ලබා දෙමු.

ඒ වගේ ම Woolmer දකුණු අප්‍රිකාවෙන් පසුව ප්‍රධාන පුහුණුකරු විදිහට පත් වෙලා යන්නේ තරග පාවා දීම් වැනි මතභේදකාරී සිදුවීම් මුල් බැස ගත්තු දේශයක් වන පාකිස්තානය වෙත.

ඒ වගේ ම Woolmerගේ මරණය සිදු වෙද්දී ඔහු පොත් දෙකක් රචනා කරමින් සිටි බව තමයි දැන ගන්න ලැබෙන්නේ. ඉන් එකක් පුහුණු අත් පොතක් වුනු අතර අනෙක ඔහුගේ ස්වයං චරිතාපදානයේ යාවත්කාලීන කිරීමක් වූ බවත්, මේ චරිතාපදානය තුල සිය පාකිස්තාන ක්‍රිකට් අත්දැකීම් මෙන් ම Hansie Cronje සමඟ ඔහුගේ අත්දැකීම් විස්තර වෙන්න ඉඩ තිබුණු බවට මතයක් තියෙනවා. නමුත් මේ ගැන කිසිම පිළිගත හැකි සාක්ෂියක් නම් හොයා ගන්න ලැබෙන්නේ නැහැ.

“Woolmer පාකිස්තාන ක්‍රිකට් ගැන පොතක් ලියන්න ලොකු ආසාවකින් හිටියේ මොකද මත් ද්‍රව්‍යය/ කුඩු සම්බන්ධ සිදුවීම්, පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වීම්, ආගමික ගැට‍ළු වගේ ගොඩක් රසවත් සිදුවීම් තිබුණු නිසා.”

Edward Craig කියන Wisden සඟරාවේ සංස්කාරකවරයෙක් Woolmerට තිබුණු තවත් බලාපොරොත්තුවක් ගැන ඒ විදිහට මතක් කරනවා.

ඒ වගේ ම Cricinfo වෙබ් අඩවිය සමඟ සේවය කරන පාකිස්තාන මාධ්‍යවේදියකු වන Osman Samiuddin විසින් පවසන්නේ, 2007 ලෝක කුසලානය අවසන් වීමෙන් පසුව සිය ක්‍රිකට් ජීවිතයේ වැදගත් ම පරිච්ඡේදයක් වඩාත් නිවැරදි අයුරින් පැවසිය යුතු යැයි Woolmer විසින් විශ්වාස කළ බව සහ ඒ වෙනුවෙන් Woolmer විසින් සිය සහය අපේක්ෂා කළා කියලයි.

මෙවැනි පොතක් මගින් පාකිස්තානය පිළිබඳ සිය අත්දැකීම් හෙළි කරන Woolmer අතින් තරග පාවාදීම් ගැන හෙළි වේවි යැයි බියෙන් මේ ඝාතනය කවුරුන් හෝ සැලසුම් කරන්නට ඇති බවටත් මතයක් නිර්මාණය වෙනවා.

ඒ විතරකුත් නෙවෙයි තවත් හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන sarfraz nawaz විසින් ඒ අනුමාන කිරීම් තවත් තහවුරු කරන්න උත්සාහ ගන්නේ Woolmerගේ මරණය ඝාතනයක් බවට හේතු සහිත ව සිය මතය ඉදිරිපත් කරන අතරේයි.

2007 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය විසින් තරග පවා දීමක් සිදු කළ බවත්, එය අයර්ලන්තය හමුවේ ලද ලැජ්ජා සහගත පරාජය නොව ඊට පෙර පැවැත්වුණු බටහිර ඉන්දීය කොදෙව් සමඟ තරගයෙන් ලද පරාජය බවයි sarfraz විසින් පවසන්නේ.

පාකිස්තානය විසින් අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් පහසුවෙන් පරාජය කරමින් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමේ බලාපොරොත්තුව ඇති ව හිතාමතා ම බටහිර ඉන්දීය කොදෙව් දේශය හමුවේ පරාජය වූ බව Sarfraz විශ්වාස කරනවා. ඒ වගේ ම මේ ගැන Woolmer විසින් දැන සිටි බවත්, තරග පාවාදීම් වලට සම්බන්ධ මාෆියා කණ්ඩායම් වලින් Woolmerගේ මරණය සැලසුම් කරන්නට ඇති බවත් Sarfraz විසින් අනුමාන වශයෙන් පවසනවා.

කොහොම වෙතත් Woolmerගේ මරණය ඝාතනයක් බවට සැක කෙරෙමින් සිදු කරන මේ අනුමාන කිරීම් බහුතරයක් පහසුවෙන් ඉවතට දමන්න පුළුවන් ඒවා නොවීම මේ ගැටලුව තවදුරටත් සංකීර්ණ එකක් බවට පත් කරනවා.

විවෘත අවසානයක් සහිත ව ලැබුණු තීන්දුවක්?

කොහොම වෙතත් Woolmerගේ මරණය ගැන අවසන් තීන්දුවක් ලබා දෙන්න එකොළොස් දෙනෙකුගෙන් යුත් ජූරියකට සිදු වෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් විවෘත තීන්දුවක් ලබා දෙනවා. මේ තීන්දුව ට සම්බන්ධ වුනු ජූරී ප්‍රධානී විසින් ප්‍රාදේශීය පුවත්පතකට සඳහන් කරන්නේ Woolmerව ඝාතනය කලා ද එහෙමත් නැති නම් ඔහු ස්වාභාවිකව ම මිය ගියා ද යන්න නිශ්චිතව ම පැවසීමට නොහැකි තරම් නොගැලපීම් ප්‍රමාණයක් මේ සිදුවීමේ තියෙන බව.

එය තීන්දුවක් ලෙස බැලූ කළ ඉතා දුර්වල මට්ටමේ එකක් බව සඳහන් කළ යුතුමයි. නමුත් Woolmerගේ බිරිඳ වන Gill Woolmer සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා විසින් ජූරියට ලබා ගන්න නොහැකි වුනු විසඳුම සොයාගන්නවා.

“අප සතු ව ඇති සියලු ම සාක්ෂි අධ්‍යනය කිරීමෙන් පසු Bob ස්වාභාවික හේතුත් මත මිය ගිය බවට සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් වෙනවා.

පෙර පැවති අවිනිශ්චිතතා නිසා විවෘත තීන්දුවක් ලබා දීම පිළිබඳ ව මම පුදුම වෙන්නේ නැහැ. ජැමෙයිකානු පොලිසිය සහ Mark Shields විසින් ඔවුන්ට හැකි සෑම දෙයක් ම අප වෙනුවෙන් සිදු කළා”.

Woolmerගේ බිරිඳ අවසන් තීන්දුවක් අරගෙන හිත හදා ගන්න සූදානම් වුනත් Woolmerගේ මරණයෙන් වසර 16ක් ඉක්මවා යන 2023 වර්ෂයේ දී වුනත් මේ සිදුවීම ගැන සැකයක් බහුතර පිරිසකගේ හිත් වල ඉතුරු වෙලා තියෙන බව නම් විශ්වාසයෙන් යුතු ව සඳහන් කරන්න පුළුවන්.

Wisden ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<