පිතිකරුවන්ගේ දිනයක ලහිරුගේ වේග පන්දුව බැබලෙයි

1598
Mercantile A Division Cricket

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කරන වෙළඳ සේවා ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ තරග 4ක් ඊයේ (14) දින පැවැත්විණි. එහිදී මෙම තරගාවලියට අදාළ කණ්ඩායම් 8ම තරග වැදුණු අතර වඩාත්ම අවධානය යොමුවූ මෙන්ම වඩාත්ම උණුසුම් තරගය වුයේ MAS යුනිචෙලා සහ MAS ඇක්ටිව් කණ්ඩායම් අතර තරගයයි.

පසුගිය ලිපි: කැන්රිච් හා MAS Silueta ජයග්‍රහණය කරමින් පළමු වටය නිමයි

MAS යුනිචෙලා සහ MAS ඇක්ටිව් අතර තරගය

කොළඹ NCC ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනාගත් MAS ඇක්ටිව් නායක ජෙහාන් මුබාරක් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශතකයක් අසලටම පැමිණෙන්නට සමත් විය. ධනුෂ්ක ලකුණු 90ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගයි. ෆර්වීස් මහරූෆ් සහ චාමර සිල්වාද  අර්ධ ශතක දෙකකින් කණ්ඩායමට දායකත්වය සැපයු අතර MAS යුනිචෙලා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ කඩුලු 9කට ලකුණු 318ක් රැස් කරන්නට සමත් විය.

පසුගිය වසරේ ශූරයන් වන MAS ඇක්ටිව් කණ්ඩායම සාර්ථක හඹායාමක් සම්පූර්ණ කිරීම අසලටම පැමිණියත් යුනිචෙලා පන්දු යවන්නන් තම අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගනිමින් තම කණ්ඩායමට ලකුණු 10ක ජයක් හිමි කර දෙන්නට සමත් විය. ප්‍රවීණ පන්දු යවන්නන් වන ෆර්වීස් මහරූෆ්, මාලිංග බණ්ඩාර සහ දිල්රුවන් පෙරේරා අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදී.

ලකුණු පුවරුව

MAS යුනිචෙලා  – 318/9 (50) : ධනුෂ්ක ගුණතිලක – 90, ෆර්වීස් මහරූෆ් – 74, චාමර සිල්වා – 60, දිල්රුවන් පෙරේරා – 34, දිල්හාර ප්‍රනාන්දු – 4/68.

MAS ඇක්ටිව් – සියල්ලන් දැවී – 308 (48.5) : ධනංජය ද සිල්වා – 58, ජෙහාන් මුබාරක් – 52, දිල්ශාන් මුණවීර – 45, සචිත් පතිරණ – 41. දිල්රුවන් පෙරේරා – 3/57, මාලිංග බණ්ඩාර – 3/53, ෆර්වීස් මහරූෆ් – 3/74.

MAS යුනිචෙලා කණ්ඩායමට ලකුණු 10ක ජයක්


හැටන් නැෂනල් බැංකු සහ ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම් අතර තරගය

MAS කණ්ඩායම් අතර තරගයේදී ප්‍රවීණ පන්දු යවන්නන් දස්කම් දැක්වුවත් මෙම තරගයේදී වැඩි වශයෙන් කැපී පෙනුනේ යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් වීම විශේෂත්වයක්. එංගලන්ත 19න් පහල කණ්ඩායමට එරෙහිවද ඉහල දස්කම් දැක්වූ ලහිරු කුමාර, කඩුලු 5ක් බිඳ හෙලමින් ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට දැවැන්ත ජයග්‍රහනයක මග විවර කරන්නට සමත් විය.

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේ පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා ලැබූ ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 278ක්. එහිදීද යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් කැපී පෙනුනේ මිනෝද් භානුක ලකුණු 88ක් සහ චරිත් අසලංක ලකුණු 51ක් ලබා ගැනීම හේතුවෙන්. පන්දු යැවීමේදී විමුක්ති පෙරේරා කඩුලු 4ක් දවා ගන්නට සමත් විය.

ලකුණු 279ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට පන්දුවාර 31.3කදී සියල්ලන් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 156ක් පමණයි. ඔවුන්ගේ මුල්පෙළ සුනු විසුනු කළ ලහිරු කුමාර ලකුණු 38කට කඩුලු 5ක් බිඳ හෙලද්දී, චලන ද සිල්වා කඩුලු 2ක් දවා ගන්නට සමත් විය. හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සචින් ජයවර්ධන හට ලබා ගැනීමට හැකි වුයේත් ලකුණු 33ක් පමණයි.

ලකුණු පුවරුව

ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම –  278/9 (50) : මිනෝද් භානුක – 88, චරිත් අසලංක – 51, නිලූෂාන් නෝනිස් – 25, චලන ද සිල්වා – 25, විමුක්ති පෙරේරා – 4/55, බුද්ධි පෙරේරා – 2/49.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම  – සියල්ලන් දැවී – 156 (31.3) : සචින් ජයවර්ධන – 33, යොහාන් පෙරේරා – 32, විමුක්ති පෙරේරා – 28, ලහිරු කුමාර – 5/38, චලන ද සිල්වා – 2/28.

ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට ලකුණු 122ක ජයක්


සම්පත් බැංකු සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් අතර තරගය

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනා ගත් සම්පත් බැංකු නායක ජීවන් මෙන්ඩිස් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 66ක් රැස් කළ අතර අනෙකුත් පිතිකරුවන්ගේද දායකත්වය සමගින් සම්පත් බැංකු ලකුණු පුවරුව 256ක් දක්වා ඉහල ගොස් තිබුණි.

කොමර්ෂල් ක්‍රෙඩිට් නායක උපුල් තරංග හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකක් සමග වේගවත් ලකුණු 62ක් ලබා ගන්නට සමත් විය. අශාන් ප්‍රියන්ජන් සහ ලහිරු මධුශංක ද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන්නට සමත් වුවත් කසුන් රාජිතගේ සහ චාමික කරුණාරත්නගේ වේග පන්දු හමුවේ අසරණ වූ කොමර්ෂල් ක්‍රෙඩිට් පිළිතුරු ඉනිම ලකුණු 209කට සීමා විය. ඔවුන් දෙදෙනා අතරේ කඩුලු 7ක අයිතිය බෙදී යද්දී නායක ජීවන් මෙන්ඩිස් ද කඩුලු 2ක් බිඳ හෙලන ලදී.

ලකුණු පුවරුව

සම්පත් බැංකු කණ්ඩායම  – 256/9 (50) : කෞෂාල් සිල්වා – 66, ප්‍රිමොෂ් පෙරේරා – 35, චාමික කරුණාරත්න – 34*, අශාන් ප්‍රියන්ජන් – 2/14, චතුරංග ද සිල්වා – 2/54, ලහිරු ගමගේ – 2/77.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් PLC – සියල්ලන් දැවී – 209 (42) : උපුල් තරංග – 62, අශාන් ප්‍රියන්ජන් – 40, ලහිරු මධුශංක – 38, චාමික කරුණාරත්න – 4/29, කසුන් රාජිත – 3-50, ජීවන් මෙන්ඩිස් – 2/44,

සම්පත් බැංකු කණ්ඩායමට ලකුණු 47ක ජයක්


ජෝන් කීල්ස් සහ ඩිමෝ කණ්ඩායම් අත‍ර තරගය

වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනාගත් ජෝන් කීල්ස් නායක භානුක රාජපක්ෂ තීරණය කලේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. එම තීරණයේ වටිනාකම ආදර්ශයෙන්ම පෙන්වූ භානුක ශතකයක් පෙනෙන මානයටම සිය පිත්ත හසුරුවමින් ලකුණු 90ක් රැස් කරන්නට සමත් විය. පන්දු 54ක් පමණක් වැයවූ ඔහුගේ වේගවත් ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 6කින් වර්ණවත් විය.

නායකයාගේ ඉනිමට තවත් වටිනාකමක් එක් කළ අක්ෂු ප්‍රනාන්දු පන්දු 36කින් නොදැවී ලකුණු 50ක් රැස් කරන ලදී. මේ අනුව ජෝන් කීල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 335ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනගන්නට සමත් විය.

ඩිමෝ කණ්ඩායම පිළිතුරු ඉනිමේදී වේගවත් පිතිකරණ රටාවක් පෙන්නුම් කළද ලකුණු 336ක ඉලක්කය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දිගු ඉනිමක් ගොඩනගන්නට කිසිදු පිතිකරුවෙක් සමත් නොවීය. නිසල තාරක ලකුණු 61ක් ලබා ගත් අතර තවත් පිතිකරුවන් කිහිප දෙනෙක් සාර්ථක ආරම්භයන් ලබා ගත්තද ජෝන් කීල්ස් පන්දු යවන්නන් දිගු සබඳතා ගොඩ නගන්නට ඉඩ නොදීම හේතුවෙන් ඩිමෝ ඉනිම ලකුණු 281කට සීමා විය. ඉශාන් ජයරත්න කඩුලු 3ක් දවාගත් අතර උපුල් ඉන්ද්‍රසිරි සහ විකුම් බණ්ඩාර අතරේ කඩුලු 2 බැගින් බෙදී යන ලදී.

ලකුණු පුවරුව

ජෝන් කීල්ස් කණ්ඩායම  – 335/9 (50) : භානුක රාජපක්ෂ – 90, අක්ෂු ප්‍රනාන්දු – 50*, ලහිරු මලින්ත – 44, ජනක ගුණරත්න – 38, මතීෂ පෙරේරා – 2/39,

ඩිමෝ කණ්ඩායම  – සියල්ලන් දැවී 281 (43.5)  : නිසල තාරක – 61, ලසිත් අබේරත්න – 48, තික්ෂිල ද සිල්වා – 45, ඉශාන් ජයරත්න –  3/46, විකුම් බණ්ඩාර – 2/22, උපුල් ඉන්ද්‍රසිරි – 2/66.

ජෝන් කීල්ස් කණ්ඩායමට ලකුණු 54 ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට