දඹුල්ලට එරෙහි වුනු කොළඹට දැවැන්ත ජයක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

777

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග අද (5) පල්ලෙකැලේ සහ කොළඹ දී තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වුනා.

එම තරග දෙක අතරින් දඹුල්ල – කොළඹ තරගය තවත් දිනයක් ඉතිරිව තිබිය දී ම ඉනිමකින් සහ ලකුණු 132කින් ජය ගැනීමට සත්කාරක කොළඹ ක්‍රීඩකයින් සමත් වුනා. එසේම තෙවැනි දිනයේ නිමාව සටහන් වන විට අනෙක් තරගයේ වැඩි වාසිය දිනා ගැනීමට සමත්ව සිටියේ මහනුවර කණ්ඩායමයි.

දඹුල්ල සහ කොළඹ

දිනයේ ආරම්භය සටහන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 381ක් ලබාගෙන සිටියා.

අශේන් බණ්ඩාර ලකුණු 91කට දැවී ගිය පසුව ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ ලහිරු මදුසංක සහ නිසල තාරක පිළිවෙළින් ලකුණු 68ක් සහ ලකුණු 47ක් ලබාගෙන කොළඹ ලකුණු සටහන තවදුරටත් සවිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලකුණු 518ක දැවැන්ත ලකුණකට යාමට ඔවුන්ට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී දඹුල්ල වෙනුවෙන් සාර්ථක වුනු හොඳම පන්දු යවන්නා වුනු වමතින් දඟපන්දු යවන මලින්ද පුෂ්පකුමාර කඩුලු 5ක දස්කමක් පෙන්නුම් කළා.

ලකුණු 239ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවැනි ඉනිම දියත් කළ දඹුල්ලට වැඩි පීඩනයක් සහිතව පන්දු යැවීම සිදු කළ ලක්ෂිත රසාංජන, ප්‍රභාත් ජයසූරිය ඇතුළු කොළඹ ක්‍රීඩකයින් දඹුල්ල දෙවැනි ඉනිම ද ඉතාමත අසීරු මට්ටමකට ඇද දමමින් ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 107කට සීමා කළා.

එම ඉනිමේ දී ද අශාන් ප්‍රියන්ජන් අභිබවා එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට දඹුල්ල අනෙක් එකඳු ක්‍රීඩකයෙක් හට හෝ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසාවෙන් මේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 131ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සත්කාරක කොළඹ ක්‍රීඩකයින් හට අවස්ථාව ලැබුණු අතර එය මේ තරගාවලියේ වාර්තා වුනු පළමු පූර්ණ තරග ජයග්‍රහණය බවට ද පත්වුනා.

කොළඹ වෙනුවෙන් තරගය පුරාවට පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ලක්ෂිත රසාංජන කඩුලු 3 අවස්ථා දෙකක් දවාගෙන කඩුලු 6ක් දවා ගන්නට සමත් වුනා.

දඹුල්ල පළමු ඉනිම – 277 (76.3): අශාන් ප්‍රියන්ජන් 61, චමිඳු විජේසිංහ 54*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 36, ලහිරු සමරකෝන් 35, මලින්ද පුෂ්පකුමාර 35, ලක්ෂිත රසාංජන 3/78, කසුන් රාජිත 2/32, නිසල තාරක 2/57.

කොළඹ පළමු ඉනිම –  516 (155.2) නිපුන් ධනංජය 114, අශේන් බණ්ඩාර 91, ලහිරු මදුසංක 68, රොෂේන් සිල්වා 57, නිසල තාරක 47, සම්මු අශාන් 41, ලක්ෂිත රසාංජන 29, මලින්ද පුෂ්පකුමාර 5/141.

දඹුල්ල දෙවැනි ඉනිම – 107 (31.1): අශාන් ප්‍රියන්ජන් 23, දුවිඳු තිලකරත්න 20, ලක්ෂිත රසාංජන 3/38, ප්‍රභාත් ජයසූරිය 3/29, සම්මු අශාන් 2/09, කසුන් රාජිත 2/22.

කොළඹට ඉනිමක සහ ලකුණු 132ක දැවැන්ත ජයක්

යාපනය සහ මහනුවර

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ අද දිනය නිමාවන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන මහනුවර ක්‍රීඩකයින් කිසිවෙක් නොදැවී ලකුණු 25ක් ලබාගෙන සිටියා.

දෙවැනි දිනය නිමා වන විට කිසිවෙක් නොදැවී ලකුණු 13ක් ලබාගෙන සිටි යාපනය ක්‍රීඩකයින් අද දිනයේ දී සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 318ක් ලබා ගත්තා. ජනිත් ලියනගේ පන්දු 131ක දී 4 පහර 6ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 85ක් ලබාගෙන යාපනය මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුවත්, ඉන් ඔබ්බට ගිය ඉනිමක් ගොඩනැංවීමට ඔවුන්ගේ අනෙක් එකඳු ක්‍රීඩකයෙක් හට හෝ අවස්ථාවක් ලබා දීමට මහනුවර ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ජනිත්ගේ පිතිකරණයට අමතරව සමින්ද ප්‍රනාන්දු, ගීත් කුමාර සහ කඩුලු රකින පිතිකරු නිශාන් මධුෂ්ක යාපනය වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත්තා. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන අවිඳු තීක්ෂණ මහනුවර වෙනුවෙන් කඩුලු 5ක් දවාගෙන දස්කම් අතරට පැමිණියා. අසිත ප්‍රනාන්දු කඩුලු 2යි.

ලකුණු 185ක පළමු ඉනිමේ වාසියක් අතැතිව සිය දෙවැනි ඉනිම දියත් කළ මහනුවර ක්‍රීඩකයින් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා.

මහනුවර පළමු ඉනිම – 503/9d (68): සහන් ආරච්චිගේ 162, කසුන් විදුර 67, ඕෂද ප්‍රනාන්දු 50, ලහිරු උදාර 50, කමිල් මිශාර 35, නිපුන් මාලිංග 3/68.

යාපනය පළමු ඉනිම – 318 (92.4) ජනිත් ලියනගේ 85, සමින්ද ප්‍රනාන්දු 73, ගීත් කුමාර 58*, නිශාන් මධුෂ්ක 56, අවිඳු තීක්ෂණ  5/135, අසිත ප්‍රනාන්දු 2/43.

මහනුවර දෙවැනි ඉනිම (තෙවන දිනය අවසානයේ) – 25/0 (7):

තෙවැනි දිනයට ක්‍රියාත්මක වූ මේ යාපනය – මහනුවර තරගය හෙට (6) සිව්වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<